ආර්ථික අර්බුදය, දේශගුණික විපර්යාස සහ සහනාධාර ලැබීමේ ප්‍රවේශයන් අඩාල වීම හමුවේ උග්‍ර වන ලෝක ආහාර අර්බුදයෙන් දැඩිම බලපෑමට ලක්වූ රටවල් 10 අතරට පාකිස්තානය ද ඇතුළත්ව ඇති බව ‘Action Against Hunger’ නැමැති ජාත්‍යන්තර මානුෂීය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළි වේ.

ලෝක ආහාර දිනට සමගාමීව නිකුත් කරන ලද මෙම තක්සේරු වාර්තාවට අනුව, ලොව පුරා රටවල් සහ කලාප 47ක ජනගහනයෙන් මිලියන 266ක් උග්‍ර පෝෂණ අර්බුදයකට මුහුණ දී සිටිති.

මෙය මීට දශකයකට පෙර පැවැති තත්ත්වය මෙන් දෙගුණයක ඉහළ යාමකි.

එම සංඛ්‍යාවෙන් මිලියන 177ක්, එනම් සමස්තයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, නයිජීරියාව, කොංගෝ ජනරජය, සුඩානය, යේමනය, මියන්මාරය, දකුණු සුඩානය සහ සිරියාව යන රටවල් 10 තුළ සංකේන්ද්‍රණය වී ඇත.

මෙම ලැයිස්තුවට පාකිස්තානය ඇතුළත් වී ඇත්තේ එහි සමස්ත ජනගහනයෙන් බලපෑමට ලක්වූ ප්‍රතිශතය අනෙක් රටවලට සමාන නිසා නොව, ආහාර හිඟයෙන් පීඩාවට පත් ජනතාවගේ සමස්ත සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙනි. වාර්තාවට අනුව, දේශගුණික විපර්යාසවලට දැඩි ලෙස ගොදුරු විය හැකි පාකිස්තානයේ ග්‍රාමීය ප්‍රදේශ 51ක ජනතාවගෙන් මිලියන 10.6ක් පමණ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දී සිටිති.

පාකිස්තාන සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්තවලට අනුව, රට පුරා මධ්‍යම හෝ දැඩි ලෙස ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දෙන පවුල් ප්‍රතිශතය 2018–19 වසරවල පැවැති 15.92% සිට 2024–25 වන විට 24.35% දක්වා සියයට 8.43කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව දැනට පාකිස්තානයේ සෑම පවුල් හතරකින් එකක්ම මෙම අර්බුදයට මුහුණ පා සිටී.

එමෙන්ම, දැඩි ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන පවුල් ප්‍රතිශතය 2.37% සිට 5.04% දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර, එයින් අදහස් වන්නේ පාකිස්තානයේ සෑම පවුල් විස්සකින් එකක්ම ඉතා බරපතල මට්ටමේ ආහාර හිඟයකින් පෙළෙන බවයි. මෙම ගෘහස්ථ සමීක්ෂණ දත්ත මගින් ආහාර ලබා ගැනීමේදී ජනතාව මුහුණ දෙන පොදු දුෂ්කරතා පෙන්නුම් කරන අතර, එය ජාත්‍යන්තර මානුෂීය සංවිධානයේ උග්‍ර කුසගින්න පිළිබඳ තක්සේරුවට වඩා පුළුල් පරාසයක් ආවරණය කරයි.