ලෝක කුසලාන තරගාවලි 6දී ගෝල රැස්කළ ලෝකයේ පළමුවැන්නා ලෙස ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ වාර්තා අලුත් කරයි
ලෝක කුසලාන තරගාවලි හයකදී ගෝල රැස්කළ ලෝකයේ පළමු ක්‍රීඩකයා ලෙස පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අද වාර්තා අලුත් කළා.
ඒ, උස්බෙකිස්ථානය සමඟ පැවැති තරඟයේදී විශිෂ්ට ගෝල ද්විත්වයක්ම ලබා ගනිමින්.
ඇමෙරිකාවේ හූස්ටන් නුවර පැවති මෙම තරඟයෙන් උස්බෙකිස්ථානය පරදා ගෝල 5 ට 0 ක දැවැන්ත ජයක් ලැබීමට පෘතුගාලය සමත් වුණා.
තරඟයේ 6 වැනි මිනිත්තුවේදීම ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තම පළමු ගෝලය වාර්තා කරමින් මෙම ඓතිහාසික වාර්තාව පිහිටවූ අතර, ඒ සමඟම ඔහු ලෝක කුසලාන ඉතිහාසයේ ගෝලයක් රැස් කළ දෙවැනි වයස්ගතම ක්‍රීඩකයා ලෙස ද ඉතිහාසයට එක්වුණා.
41 වැනි වියේ පසුවන රොනාල්ඩෝට ඉදිරියෙන් සිටින්නේ 1994 වසරේදී වයස අවුරුදු 42 දී ගෝලයක් රැස් කළ කැමරූන් රාජ්‍යයේ රොජර් මිලා පමණයි.
පෘතුගාලය වෙනුවෙන් නුනෝ මෙන්ඩෙස් 17 වැනි මිනිත්තුවේදී නිදහස් පහරක් (Free-kick) මඟින් දෙවැනි ගෝලය වාර්තා කළ අතර, 39 වැනි මිනිත්තුවේදී බෲනෝ ෆර්නැන්ඩස් ලබාදුන් දක්ෂ පන්දු යොමුකිරීමකින් රොනාල්ඩෝ සිය දෙවැනි ගෝලය ද වාර්තා කළා.
මීට අමතරව උස්බෙකිස්ථාන දැල් රකින්නා අතින් සිදුවූ අත් වැරදීම් ගෝලයක් (Own goal) සහ ආදේශක ක්‍රීඩක රෆායෙල් ලෙයාඕ තරඟය නිමා වීමට සුළු මොහොතකට පෙර රැස්කළ ගෝලය හේතුවෙන් පෘතුගාලය ලකුණු පුවරුව 5 ට 0 ක් ලෙස සන්නද්ධ කරගත්තා.
පළමු තරඟයේදී කොංගෝ රාජ්‍යය සමඟ සම වීම හේතුවෙන් දැඩි විවේචනයට ලක්ව සිටි රොනාල්ඩෝ, මෙම තරඟයෙන් පසු කැමරාව දෙසට හැරී "මම නැවතත් පැමිණියා" (I'm back) යනුවෙන් පවසමින් සිය සතුට පළකර සිටියා.
මේ අතර, පසුගිය සඳුදා ඔස්ට්‍රියාවට එරෙහිව ගෝල ද්විත්වයක් රැස්කළ ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා (ගෝල 18ක්) බවට පත්වුණා.
කෙසේ වෙතත්, මෙසී ලෝක කුසලාන තරඟාවලි 6 කට ක්‍රීඩා කර තිබුණ ද, ඔහුට ගෝල රැස් කිරීමට හැකිව තිබෙන්නේ ඉන් තරඟාවලි 5 කදී පමණයි.
මෙම ජයග්‍රහණයත් සමඟ පෘතුගාලය ලෝක කුසලාන තරඟාවලියේ 'K' කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.




