ඉන්දියාව විසින් නිෂ්පාදනය කරනු ලබන BrahMos සුපර්සොනික් කෲස් මිසයිල වියට්නාමයට අපනයනය කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් තබා ඇති බවත්, ඉන්දුනීසියාව සමඟ ද එවැනිම ගිවිසුමක් අවසන් අදියරේ පවතින බවත් ඉන්දීය ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ සිය සිංගප්පූරු නිල සංචාරය අතරතුරදීය.

සිංගප්පූරුවේ පැවැත්වෙන ‘ෂැංග්‍රිලා සංවාදය’ ආරක්ෂක සමුළුව අමතමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, වියට්නාමය සමඟ වන ගිවිසුමට දැනටමත් අත්සන් තබා ඇති නමුත් එය මෙතෙක් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර නොමැති බවයි.

එසේම ඉන්දුනීසියාව සමඟ පවතින සාකච්ඡා ද බොහෝ දුරට අවසන් වී ඇති බැවින් එම ගිවිසුම ද ඉතා ඉක්මනින් ස්ථිර වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

"මා දන්නා පරිදි ඉන්දුනීසියාව සහ වියට්නාමය යන රටවල් දෙකම සමඟ ඇති ගිවිසුම් අවසන් අදියරේ පවතින්නේ. සැබවින්ම වියට්නාමය සමඟ ගිවිසුම දැනටමත් අත්සන් කර අවසන්. එය බොහෝ විට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැති වුණත්, අත්සන් තැබීම සිදු කර තිබෙනවා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

වාර්තාවලට අනුව වියට්නාමය සමඟ ඇති කරගත් මෙම මිසයිල ගිවිසුමේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 5,800ක් පමණ වේ. වෙරළාරක්ෂක මිසයිල බැටරි, මිසයිලවල පළමු තොගය, ඒ සඳහා වන පුහුණු කිරීම් සහ සැපයුම් දාම සහාය ද මෙම ගිවිසුමට ඇතුළත් ය.

එමෙන්ම, ඉදිරියේදී ගුවන් මඟින් දියත් කළ හැකි ‘බ්‍රහ්මෝස්’ මිසයිල සංස්කරණයන් ද මිලදී ගැනීමට වියට්නාමය කැමැත්තෙන් පසුවන බව ආරක්ෂක අංශ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.