ශ්‍රී ලංකාවට ද ඉතා සංවේදී ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලන බලය කාටදැයි තීරණය කරන මැතිවරණය ඊයේ පැවැත්වුණා.
ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් සියයට 84 කට වඩා වැඩි පිරිසක් එහිදී ඡන්දය ප්‍රකාශ කල බවයි මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ.
තමිල්නාඩු මැතිවරණ ඉතිහාසයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 80 සීමාව පසුකළ පළමු අවස්ථාව මෙය වනවා.
කෙසේ වෙතත්, ඡන්දය ප්‍රකාශ කිරීම අතරතුර තමිල්නාඩුවේ ප්‍රදේශ කිහිපයකම ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇති වූ බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
විශේෂයෙන්ම පාලක DMK පක්ෂය සහ සුප්‍රකට කොලිවුඩ් රංගන ශිල්පී තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂයේ ආධාරකරුවන් අතර ප්‍රදේශ කිහිපයකම ගැටුම් ඇතිවී තිබෙනවා.
චෙන්නායි හි හාබර් මැතිවරණ කොට්ඨාසයේදී TVK අපේක්ෂක සිනෝරා අශෝක් සහ DMK අමාත්‍ය පී.කේ. සේකර්බාබු ගේ ආධාරකරුවන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
එහිදී තලපති විජේගේ පක්ෂ ක්‍රියාකාරීන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවල නිරත වූ අතර පසුව පොලිසිය මැදිහත්වී තත්ත්වය පාලනය කරනු ලැබුවා.
එමෙන්ම සයිඩාපේට් ප්‍රදේශයේදී ද පක්ෂ දෙකේ ක්‍රියාකාරීන් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
රොයාපෙට්ටා සහ ඔට්ටේරි ප්‍රදේශවලදී ද මෙවැනිම නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වී තිබෙනවා.
තවත් පුවතක් වාර්තා වන්නේ පාපනාසම් මැතිවරණ කොට්ඨාසයෙන්.
එහිදී NTK පක්ෂයේ ගැබිනි අපේක්ෂිකාවක වූ ඇනිස් ෆාතිමාට DMK සහ IUML පක්ෂ සාමාජිකයන් විසින් පහරදී ඇති බවට චෝදනා එල්ල වනවා.
ඇය මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
කෝයඹුතූර් ප්‍රදේශයේදී පාලක DMK පක්ෂය සහ භාරතීය ජනතා පක්ෂය හෙවත් BJP ක්‍රියාකාරීන් අතර ද දරුණු වාද විවාද සහ ගැටුම්කාරී තත්ත්වයන් හටගෙන තිබෙනවා.
සමස්තයක් ලෙස මැතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර, ප්‍රධාන දේශපාලන නායකයන් වන මහ ඇමති එම්.කේ. ස්ටාලින්, උදයනිධි ස්ටාලින් සහ එඩප්පාඩි පලනිසාමි වැනි ප්‍රබලයන් තම බලකොටු රැකගැනීම සඳහා දැඩි සටනක නිරතව සිටිනවා.
තලපති විජේ තරඟ වදින තිරුචිරප්පල්ලි නැගෙනහිර කොට්ඨාසයේ ද ඉතා ඉහළ ඡන්දය ප්‍රකාශ කිරීමක් දක්නට ලැබුණා.
මැතිවරණයේ ඡන්ද ගණන් කර ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට නියමව ඇත්තේ ලබන මැයි 4 වනදායි.
තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234ක් තිබෙන අතර සභාවේ බලය තහවුරු කිරීම සඳහ ඒවායින් ආසන 118ක් ජයගත යුතු වනවා.



