ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතාගේ අත්සනින් යුතුවයි.

පුද්ගලයින්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීමක් නොකරන ලෙසට සමස්ත පොලිස් නිලධාරීන් ම ආවරණය වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබුවේ මෙම මහේස්ත්‍රාත්වරයා විසින්.

පසුව එම නියෝගය නිසි පරිදි ඉටු නොකළ බවට තීරණය කරමින් පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පවරන්නැයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කලේද මෙම මහේස්ත්‍රාත්වරයා විසින්.

ඊට අදාලව අධිකරණ සේවා කොමිසම කිසියම් විමර්ශනයක් සිදු කර ඇතැයි වාර්තාවනවා.

එහිදී මහේස්ත්‍රාත්වරයාගෙන්ද නිරීක්ෂණ කැඳවා ඇති අතර ඉන් අනතුරුවයි ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමට අධිකරණ සේවා කොමිසම තීරණය කර ඇත්තේ.