මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝබර් මස 13 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියම කළා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ අවස්ථාවේදී අල්ලස් කොමිසම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.

එම කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම විමර්ශනවල ඉදිරි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අවස්ථාවේදී ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අවසර පැතුවා.

එම අවස්ථාවේදී මහේස්ත්‍රත්වරයා කියා සිටියේ මෙම පුද්ගලයා සැකකරුවකු වශයෙන් නම් කර නැති නිසා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම අනවශ්‍ය බවයි.

ඉන් අනතුරුව පැමිණිල්ල ලබන ඔක්තෝබර් 13 වැනිද කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළා.

මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා නම් කර තිබූ අතර ඔහු පසුගියදා අභිරහස් ලෙස මියගොස් තිබුණා.

මෙහි දෙවන සැකකාරිය වශයෙන් කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වන සැකකරු වශයෙන් ශමින්ද්‍ර රාජපක්ෂ යන අය නම්කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණය විසින් ඉකුත් දා වරෙන්තු නිකුත් කළා.