දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකාර හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් 2015 වසරේ මෙම සැකකරු නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නියමිත නීතිමය පටිපාටියෙන් බැහැරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් සුළු සේවකයින් එකසිය තිස් හතර දෙනෙකු කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඇතැයි සඳහන් කළා.
ගාල්ල දිස්ත්‍රික්කයේ සිය දේශපාලන හිතවාදී පුද්ගලයින් මෙලෙස බඳවාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඊට අමතරව විනය හේතු මත ස්ථාන මාරුවීම් ලබා සිටි යාපනයේ තාක්ෂණ විද්‍යාලයේ අධ්යක්ෂ එන්. යෝගරාජා මහතාගේ ස්ථාන මාරුව අවලංගු කිරීම සම්බන්ධයෙන් සැකකාර හිටපු අමාත්‍යවරයා බලපෑම් සිදුකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.
මෙම ක්‍රියා තුළින් සිය බලය අයුතු ලෙස පරිහරණය කරමින් සැකකාර හිටපු අමාත්‍යවරයා ”දූෂණය” නැමැති වරද සිදුකර ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.
ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් අවවාද කළා.
ඉන් අනතුරුව පැමිණිල්ල අගෝස්තු මස 21 වන දා යළි කැඳවීමට නියම කෙරුණු අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් අල්ලස් කොමිසමට නියම කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.



