අලුතින් ආරම්භ කරන ලද අස්වැසුම වැඩසටහනේ ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ ප්‍රධාන කාර්යභාරය සහ වගකීම හිමිව ඇත්තේ සමෘද්ධි දෙපාර්තමේන්තුවට බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසනවා.

ඒ අනුව අස්වැසුම ලබන ජනතාව සක්‍රීය ලෙස සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සමෘද්ධි නිලධාරීන් හමුවේ ඇති ප්‍රධාන වගකීම බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

"2023 දී එවකට පැවැති රජය විසින් එතෙක් දිළිඳුබව තුරන් කිරීමේ ප්‍රධාන වැඩසටහන වෙච්ච සමෘද්ධි වැඩසටහන එහෙම තියෙද්දි, අලුත් වැඩසටහනක් ආරම්භ කරා. එතකොට සමෘද්ධි වැඩසටහන හරහා දිළිඳු සහන ලබාදී, ඒ දිළිඳුකම තුරන් කිරීම සඳහා කරගෙන ගියපු වැඩසටහන් ප්‍රශ්නාර්ථයක් එක්ක ඉතිරි කරා. 2024 දී මේ ප්‍රශ්නාර්ථ එක්ක තමයි අපිට මේ දෙපාර්තමේන්තුවල, මේ අමාත්‍යාංශවල වගකීම් බාරගන්න සිද්ධ වුණේ. සමෘද්ධි දෙපාර්තමේන්තුවේ කාර්යභාරය තමයි 'අස්වැසුම' ප්‍රතිලාභීන් සබල ගැන්වීම. ඒ නිසා ඔබට පැවරී තිබෙන කාර්යභාරය ඉතා සංකීර්ණයි, බරපතලයි. නමුත් කළ හැකියි. යැපුම් මානසිකත්වයෙන් සමාජය මුදවා ගැනීම, විශේෂයෙන්ම ආර දිළිඳු ජනතාවගෙන් මුදවා ගැනීම අද සමෘද්ධි දෙපාර්තමේන්තුවේ ඔබ සියලු දෙනාගේම ප්‍රධාන වගකීම."