නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එම කාර්යාලයේ අංශභාර සැකකාරියන් දෙදෙනා ලබන 22 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කර තිබෙනවා.

​සැකකාරියන් දෙදෙනා ඊයේ (08) ස්කයිප් තාක්ෂණය ඔස්සේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

​රුපියල් කෝටි 2 කට අධික මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බැවින්, එහි වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බව හැටන් කොට්ඨාස විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නා.

​මේ අතර, සැකකාරියන් විසින් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ සේවය කළ ගුරුවරුන් 06 දෙනෙකුගේ ගිණුම්වලට ද මුදල් බැර කර ඇති බවට අනාවරණය වීමත් සමඟ, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එම ගුරුවරුන් 06 දෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.

​ඊට අමතරව, එක් සැකකාරියකගේ සොහොයුරෙකු වන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙකුගේ ගිණුමකට ද විශාල වශයෙන් මුදල් බැරවී තිබීම හේතුවෙන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය විසින් ඔහුගේ සේවය ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.