ඉන්දිය A කණ්ඩායමට එරෙහි විශිෂ්ට ජයග්‍රහණයක් සමග ආසියානු Rising Stars එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම  සමත් වුණා. පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා A කණ්ඩායම මෙහිදී ඉන්දිය A කණ්ඩායම පරාජය කළේ කඩුලු 8න්.

ආසියානු Rising Stars එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ දෝහා හිදී. ශ්‍රී ලංකා සහ ඉන්දීය A කණ්ඩායම් අතර අද පැවැත්වුණේ එහි පළමු අවසන් පූර්ව තරගයයි. පළමු වටේදී සහභාගි වූ තරග තුනම ජය ගනිමින් අපරාජිතව සහ A කාණ්ඩයේ පළමුවෙනියා ලෙස ශ්‍රී ලංකා A කණ්ඩායම මේ සඳහා සුදුසුකම් ලබා ගත්තා. ඉන්දිය A කණ්ඩායම අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලබා ගත්තේ පළමු වටයේ සහභාගි වූ තරග තුනෙන් දෙකක් පමණක් ජය ගනිමින් B කාණ්ඩයේ දෙවැනියා ලෙසයි.

අද තරගයේ දී ඉන්දීය A කණ්ඩායම කාසියේ වාසිය දිනාගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. එය අනුව පිටියට පිවිසී ඉන්දීය A පිතිකරුව නියමිත පන්දුවාර 50 දී කඩුලු 8ක් දැවී ලකුණු 317ක් ලබාගත්තා. ආරම්භයේදී බොහෝ විචාරකයන් පැවසුවේ මෙය ශ්‍රී ලංකා A කණ්ඩායමට පහසු ඉලක්කයක් නොවනු ඇති බවයි. එහෙත් තරගාවලියේ මුල් තරග වලදී මෙන්ම නැවතත් විශිෂ්ට පිතිහරණයක යෙදුණු ශ්‍රී ලංකා A ක්‍රීඩකයන් පන්දුවාර 41යි පන්දු 3ක් පමණක් වැය කරමින් එම ඉලක්කය ජයගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා A කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පදනම දැමුයේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසී සිනෙත් ජයවර්ධන සහ ලසිත් කෲස්පුල්ලේ එක්ව පළමු කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 174ක විශිෂ්ට සබඳතාවයි. සිනෙත් ජයවර්ධන පන්දු 70දී ලකුණු 105ක් ලබාගත්තා. ලසිත් කෲස්පුල්ලේ පන්දු 107දී ලකුණු 116යි. මීට අමතරව නිශාන් මදුශංක නොදැවී ලකුණු 58ක් සහ නායක පවන් රත්නායක නොදැවී ලකුණු 31ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළා.

මෙම තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පකිස්ථාන A කණ්ඩායම සහ බංගලාදේශ A කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිතයි.