දෙදින නිල සංචාරයක නිරත වූ  ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (20)  පස්වරුවේ යලි ඉන්දියාව බලා පිටත්ව ගියා.

ඉන්දීය උප ජනාධිපතිවරයා අද නුවරඑළියේ සංසංචාරයක නිරත වුණා.

එරට ගුවන්  හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් එරට උප ජනාධිපතිවරයා රාගල සිංහල විද්‍යාලයේ ක්‍රීඩාංගණයට පැමිණ ඉන්දීය සම්භවයක් සහිත වතු දෙමළ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීමට ද එක් වුණා.

එහිදී ඉන්දීය උප ජනාධිපතිවරයා මලෛයගම් ප්‍රජාව සමග සුහඳ පිළිසදරකද නිරත වී තිබුණා.

එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මධුර සෙනෙවිරත්න සහ සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන්ද එක්ව සිටියා.

මේ අතර ඉන්දිය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා නුවරඑළිය, සීතා අම්මාන් කෝවිලේ ආගමික වතාවත්වලට එක්ව තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා ඊයේ දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින් කිහිප දෙනෙකු හමු වී සාකච්ඡාවල නිරත වුණා.