උසස් පෙළ විභාගය අද ආරම්භ වනවා එය ලබන සැප්තැම්බර් 5 වැනිදා තෙක් විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට නියමිතයි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 40,525 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඒ අතරට පාසල් අයදුම්කරුවන් දෙලක්‍ෂ 46,521 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි විභාග දෙපර්තමෙන්තු සදහන් කළේ.

විභාගය සඳහා දිවයින පුරා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් පිහිටුවා ඇති අතර ප්‍රාදේශීය එකතුකිරීමේ මධ්‍යස්ථාන 32ක්ද පිහිටුවා තිබෙනවා.

මේ අතර විභාග කාලසටහන කෙරෙහි අවධානය යොමු කරමින් විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත ළඟා වන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සියලු අපේක්ෂකයින්ට දැනුම් දුන්නේ.

එමෙන්ම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ බ්ලූටූත් ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් බවයි නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඇය පැවසුවේ.

''පෑන්, පැන්සල් ටික, මකන කෑල්ල, ඒ වගේම කටර් එකක් අවශ්‍ය නම් එය, අඩිරූලක්... ඒ වැනි දේවල් පමණයි. ඒක විනිවිද පෙනෙන පර්ස් එකක දාගෙන යන්නට පුළුවන්. ඒ සමඟ අංකන පත්‍රය, ප්‍රවේශ පත්‍රය අරගෙන යන්නම ඕනේ. හැබැයි ගෙනියන්නට බැහැ ජංගම දුරකථන.. වතුර බෝතලයක් පුළුවන් විනිවිද පෙනෙන බෝතලයක අරගෙන යන්න, ගැටලුවක් නැහැ. නමුත් අර වෙනත් පාට බෝතල්වල ඒව දාගෙන එහෙම අරන් යන්න බැහැ. පෙන්සිල් කේස් වුණත් වෙනත් ඒවා අරන් යන්න බැහැ, විනිවිද පෙනෙන එකක් විතරයි පුළුවන්. එතකොට මේ... ජංගම දුරකථන ගෙනියන්න බැහැ. ඒ වගේම බ්ලූටූත් උපකරණ, වෙනත් කැල්කියුලේටර්ස් වගේ දේවල්, වෙනත් ඉලෙක්ට්‍රොනික් උපකරණ, ඊළඟට සටහන් පොත්, සටහන් ලියපු කොළ, පුංචි කඩදාසි කෑලි, කෙටි සටහන් ඒව මේවා ළඟ තියාගන්නට බැහැ. ඒ නිසා ඒ කිසිදු අපි තහනම් කරලා තියෙන දෙයක් විභාග ශාලාවට ගේන්න එපා. පාසල් ළමයි නම් නිල ඇඳුම අඳින්න ඕනේ. පෞද්ගලික අයදුම්කරුවන්ට ඕනේ කැමති, විභාග ශාලාවට ගැලපෙන ඇඳුමක්. ඒ වගේම ස්මාර්ට් වොච්... දැන් වොච් කියන්නේ සාමාන්‍යයෙන් මේ කටු කැරකෙන ඔරලෝසුවක් බැඳන් ගියාට කමක් නැහැ, බලන්න වෙලාව. ශාලාවෙත් වෙලාව ප්‍රදර්ශනය කරලා තියෙනවා ඔරලෝසුවේ. නමුත් ඩිජිටල් වොච් භාවිතා කරන්නට බැහැ. දැන් මේ කියන ආකාරයේ කිසිදු උපකරණයක් ශාලාවට අරගෙන යන්න එපා කියලා මතක් කරනවා.''

විභාග නීති රීතිවලට අනුකූලව කටයුතු කරමින් විභාග වංචාවලින් වළකින ලෙසත්, පසුගිය වසරවල ද විභාග වංචා හේතුවෙන් සිසුන් රැසකගේ ප්‍රතිඵල අත්හිටුවීමට සිදු වූ බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ.

දැන් ජංගම දුරකථනයක් වගේ ළඟ තියාගෙන ඉඳලා අහුවුණත්, භාවිතා කරත් ඒ දෙකම වරදක් වෙනවා.

''අපි නිරීක්ෂකවරුන්ට උපදෙස් දීලා තියෙනවා මෙහෙම පරික්ෂ... නමුත් යම්කිසි ආකාරයකින් ඔවුන්ගේ අපිට නොපෙනෙන්න ඒව ශාලාවට අරන් ගිහිල්ලා සාක්කුවල දාගෙන ඉඳලා අධීක්ෂණ කණ්ඩායම් මෙහෙම අහුවෙලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රතිඵල අපි අත්හිටවනවා. සම්පූර්ණ... සමහර වෙලාවට ජංගම දුරකථනය භාවිතා කරලා තියෙනවා සම්පූර්ණ විභාගයේම. එදා එක දවසක් අහුවුණත් එයා ලියපු සියලුම විෂයන්ගේ ප්‍රතිඵල අවලංගු කරනවා. ආයෙ පාරක් අපි අත්හිටවන නියෝග  දෙන්නේ, එතකොට නැවත වාරයක් ඔවුන්ට විභාගය ලියන්න පුළුවන්. නමුත් මේ වසරේ ප්‍රතිඵල කිසිවක් නිකුත් කරන්නේ නැහැ, අවලංගු කරනවා. නැවත වාරයක් විභාගය ලිව්වත් එවැනි වරදක් කළොත් ඔවුන්ට ජීවිත කාලය පුරාම විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන විභාග සඳහා පෙනී සිටින්නට නොහැකි වන ආකාරයේ තහනමක් යොදනවා.''

උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා තත්ත්වයන් ඇති වුවහොත් විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර තිබෙනවා.