එක්සත් ජාතික පක්ෂයේ 80වන සංවත්සර සැමරුම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

ඒ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් මෙන්ම සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු තවත් දේශපාලන කණ්ඩායම්වල ප්‍රබල ඉන් රැසක් ද ඒ සඳහා සහභාගිවී සිටීම විශේෂත්වයක්.

එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමීන් හිටපු නායකයින් සහ රට වෙනුවෙන් කීර්තිමත් සේවාවක් ඉටුකළ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ගේ පිළිරූ සඳහා උපහාර දැක්වීමද මෙහිදී සිදුකෙරුණා.

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් පහතින්

වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී. එස්. සේනානායක මැතිතුමා ඇතුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළා. නිලධාරීන් පත් කරන අවස්ථාවේදී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා මූලාසනය ගෙන ඩී. එස්. සේනානායක මැතිතුමාගේ නම නායකත්වයට යෝජනා කළා.

ආරම්භක සාමාජිකයන් මෙතන නැති වුණාට ඒ අයගේ දූ දරුවන්, මුණුබුරන් මේ පක්ෂය සමග වැඩ කරන කණ්ඩායම් වෙනවා. ඒ වගේම අනික් පක්ෂවලත් ඒ කණ්ඩායම් සිටිනවා. ආරම්භක සාමාජිකයෙකු අතර ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාත් සිටියා. එතුමාගේ පුතුන් දෙන්නෙකු මේ රටේ ජනාධිපති හැටියට ක්‍රියා කළා.

අද ආරම්භ කරන්නේ 80 වැනි සංවත්සරයයි. සැප්තැම්බර් 17 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ 120 වැනි උපන්දිනය සමරනවා. මෙතැනින් ආරම්භ කර රටට කළ සේවය ගැන දැනුවත් කරමින් දෙසැම්බර් මාසයේ සම්මේලනය පවත්වනවා.

එදාට ඇතිවන්නේ නවීන එක්සත් ජාතික පක්ෂයයි. නවීන එක්සත් ජාතික පක්ෂයට අද තිබෙන අදහස් අනුව මතවාද සකස් කර, අලුත් මුහුණු එක් කරමින්, 21 වැනි ශත වර්ෂයට ඔබින ලංකාවක් සකස් කරන්න මා බලාපොරොත්තු වෙනවා.

අද අප ආරම්භ කරන තේමාව "පරමාධිපත්‍යයයි". 1948 ඩී. එස්. සේනානායක මැතිතුමා, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඇතුළු නායකයින් ගණනාවක් මේ රටට නිදහස ලබා දුන්නා. අප ස්වෛරී රාජ්‍යයක් හැටියට ක්‍රියා කළා.

ඊට පසුව දෙවැනි එලිසබෙත් රැජින ලංකාවේ රැජින හැටියට නීතියක් ගෙනාවා. එතකොට අපේ අන්තිම රජ තනතුර දැරුවේ දෙවැනි එලිසබෙත් රැජිනයි. දෙවැනි එලිසබෙත් රැජින ඒ තනතුර දරනු ලැබුවා.

ඊට පසුව 1955 දී අප එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු වී ස්වෛරී රාජ්‍යයක් හැටියට මේ කරුණු තහවුරු කළා. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට ව්‍යවස්ථාදායක සභාවක් කැඳවන්න වරමක් ලැබුණා. ඒ අනුව ජනරජ ව්‍යවස්ථාව සකස් කරලා 1972 මැයි 22 වැනිදා එය ක්‍රියාත්මක කළා.

මේ ජනරජ ව්‍යවස්ථාවෙන් රටේ පරමාධිපත්‍යය ජනතාවට භාර දුන්නා. නමුත් එය ක්‍රියාත්මක කිරීමේ බලය ජාතික රාජ්‍ය සභාවට පවරනු ලැබුවා. 1977 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් මේ සඳහා සංශෝධන කීපයක් කරන්න ඉල්ලුවා. ප්‍රධාන එක ජනතා පරමාධිපත්‍යය ජනතාව විසින් ඍජුවම ක්‍රියා කල යුතු බවයි.

එදා අපිට 140 ක මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබුණ නිසා අලුත් සංශෝධනය එක්ක දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ඉදිරිපත් කළා. ඒ ජනරජ ව්‍යවස්ථාවේ විශේෂයෙන්ම තුන්වැනි වගන්තියේ මේ රටේ පරමාධිපත්‍යය ජනතාවට අයිතියි, එය අන්සතු කරන්න බැහැ යන්න සඳහන් වෙනවා. ඒ වගේම හතරවැනි වගන්තියෙන් පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන නියෝජිත ආයතන පාර්ලිමේන්තුව, ජනාධිපති සහ අධිකරණය ලෙස දක්වනු ලැබුවා.

අද මේ ක්‍රමයට විශාලම තර්ජනය ඇති වෙලා. ඒ ජනතා පරමාධිපත්‍යය පිළිනොගැනීමයි. අප විශේෂයෙන් පක්ෂයක් හැටියට 22 වැනි සංශෝධනයට විරුද්ධ වුණේ, එයට ආණ්ඩුවෙන් ජනමත විචාරණයක් අවශ්‍යයි කියා සඳහන් නොකරපු නිසායි. එහෙයින් අප උසාවියෙන් ජනමත විචාරණයක් ඉල්ලා සිටියා. එමගින් එහි නීත්‍යානුකූලභාවය ඇති කරන්න පුළුවනි.

එහෙත් අද ගෙනියන වැඩසටහන් වලින්, එක එක කණ්ඩායම් දේශපාලන පක්ෂවලට සීමා හා හිරිහැර කිරීම්, ඒ වගේම දේශපාලනඥයන් හේතු නැතුව අත්අඩංගුවට ගැනීම් දැක ගත හැකියි. මේ හැම එකකින්ම බලන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහ
විපක්ෂයයි නැති කරන්නයි. ඒ වගේම නිදහස් වෘත්තීය සමිති නැති කර දමන්නයි.

දැන් නීතිඥ සංගමයට එරෙහිව පහර ගහනවා. වෛද්‍යවරුන්ට එරෙහිව පහර ගහනවා. ඒ වගේම තව විශාල ප්‍රශ්නයක් වන්නේ සංඝයා වහන්සේට එරෙහිව ගෙනියන ව්‍යාපාරයයි. මේ සියල්ලම මගින් රටේ ව්‍යවස්ථාවත්, ජනතා පරමාධිපත්‍යයත් නැති කරනවා.

පාර්ලිමේන්තුවේ විපක්ෂයට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, විශේෂයෙන්ම නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා කැඳවපු අවස්ථාවේදී පාර්ලිමේන්තුවට එන්න ඉඩ දුන්නේ නැහැ. අන්න එහෙම ක්‍රියාමාර්ග සිදුව තිබෙනවා.

ඒවා සැලකිල්ලට ගෙන බැලුවම කොහෙන්ද මේ රට පාලනය වෙන්නේ? පාර්ලිමේන්තුවෙන්ද, නැතිනම් පැලවත්තෙන්ද? එහෙම ප්‍රශ්න තිබෙන අවස්ථාවේදී ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කරන්න ඕනෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තිය ආරක්ෂා කරන්න ඕනෑ. නවවැනි වගන්තිය අනුව බුද්ධාගම ආරක්ෂා කරගත යුතුයි.

අප සියලු දෙනාම එකතු වෙමු. 1946 දී ඔක්කොම එකතු වෙලා නිදහස් ලංකාවක් ඇති කළා. අදත් ඔක්කොම එකට ක්‍රියාත්මක වෙමු. රටේ පරමාධිපත්‍යය ආරක්ෂා කර ගනිමු.

මා විශේෂයෙන්ම අප පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වන ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ මුණුබුරා වූ නාමල් රාජපක්ෂ මහතාට පක්ෂයේ සංවත්සර සැමරුම් උත්සවයට ආරාධනා කළා. අවාසනාවකට නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත්තා. ඒ ක්‍රියාවට මගේත්, පක්ෂයේත් දැඩි විරුද්ධත්වය පළ කරනවා යයිද රනිල් වික්‍රමසිංහ මහතා එහිදි වැඩිදුරටත් පැවසීය.

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

පරමාධිපත්‍යය අපට ඉතාමත් වැදගත් දෙයක්. ඒ නිසා තමයි නිදහස්, නිවහල් පුරවැසියන් හැටියට අපට ජීවත් වීමට පුළුවන් වන්නේ. එය හැමදාම අපට තිබුණේ නැහැ. 1505දී පෘතුගීසීන් අපේ රටට පැමිණීමෙන් පසු අවුරුදු 450කට පරමාධිපත්‍යය තිබුණේ විදේශිකයින්ගේ අතේයි.

1948 දී මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා අපට නිදහස ලබා දුන්නා. ජාතික ධජය ලෙලදෙන්න පටන් ගත්තා. නමුත් පූර්ණ නිදහස, පරමාධිපත්‍යය අපට 1948දී ලැබුණේ නැහැ. මොකද තවදුරටත් බ්‍රිතාන්‍යයේ මහා රැජින අපේ රාජ්‍ය නායිකාව හැටියට පිළිගත්ත නිසායි.

1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ රජයේ කොටස්කරුවෙකු හැටියට පිලිප් ගුණවර්ධන මැතිතුමා සහභාගී වුණා. 1965දී ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ රජයේත් පිලිප් ගුණවර්ධන මැතිතුමා සිටියා. මෙය ඉතාමත් පුළුල් දායකත්වයක් වූවා. 1948 දී අපට නිදහස ලැබෙන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා හා ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා ඉතාමත් වැදගත් කර්තව්‍යයක් ඉෂ්ට කළා.

1972 පළමුවැනි ජනරජ ව්‍යවස්ථාව තුළින් ඉතාමත් වැදගත් දෙයක් සිද්ධ වුණා. පරමාධිපත්‍යය ශ්‍රී ලංකා ජනතාවගේ නියෝජිතයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැවරුවා.

එය තවදුරටත් ඉදිරියට ගියා 1978 ජේ. ආර්. ජයවර්ධන ව්‍යවස්ථාවෙන්. ඒ ව්‍යවස්ථාවෙන් පරමාධිපත්‍යය ජනතා නියෝජිතයින්ට නෙමෙයි කෙළින්ම ජනතාවට ලබා දුන්නා. ජේ. ආර්. ජයවර්ධන ව්‍යවස්ථාව නිර්මාණය කළ පුද්ගලයන් අතර අද ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. 2022දී එතුමාට ඉතාමත් පුළුල් පදනමක් මත රජයක් පිහිටුවීමට පුළුවන් වුණා.

අද පවතින ව්‍යවස්ථාව යටතේ පරමාධිපත්‍යය බොහොම පැහැදිලිව තිබෙන්නේ ජනතාවටයි. එය ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක වන්නේ ජනමත විචාරණයක් හරහායි. අපේ රටේ නීති සම්පාදනය කිරීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. නමුත් එය සම්පූර්ණයෙන්ම නොවෙයි. ජනතාවට අතිශයෙන් වැදගත් වන කරුණු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ වෙනස් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහා නොව ජනතාවගේ අදහස සෘජුව ලබාගන්න ඕනෑ. ඒ සඳහා තිබෙන යන්ත්‍රණය තමයි ජනමත විචාරණය.

අධිකරණයේ ස්වාධීනත්වය අතිශයින් වැදගත් වෙනවා. ඒක ප්‍රධාන කුලුනක්. ඒ සම්බන්ධයෙන් මූලික වෙනසක් සිදු කරනවා නම් ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යවශ්‍යයි. ජනතාවගේ පරමාධිපත්‍යය යම්කිසි රජයක් වැරදි ලෙස පැහැර ගන්නවා නම්, අනාගත රජයකට අනිවාර්යයෙන් වගකීමක් පැවරෙනවා ඒ තත්ත්වය නිවැරදි කර උදුරාගත් පරමාධිපත්‍යය නැවත ජනතාවට ලබා දීමට.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා විසින් එක්සත් ජාතික පක්ෂය මීට අසූ වසරකට පෙර ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා, ටී. බී. ජයා මැතිතුමා, සුන්දරලිංගම් මැතිතුමා වැනි දේශප්‍රේමී ජන නායකයින් ගණනාවක් සමඟ ඒකරාශී වෙලායි.

මේ ඒකරාශී වීම තුළ ජාතියට, රටට ආදරය කරන පක්ෂයක් බිහි කිරීමට මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාට අවස්ථාව ලැබුණා. ඒ පක්ෂය විසින් දශක ගණනාවක් පුරා කරන ලද සේවාව අසූ වැනි සංවත්සරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් මා අගය කරන්න කැමතියි.

විශේෂයෙන්ම මේ රටේ ආර්ථික, සාමාජීය සංවර්ධනය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් දෙන ලද දායකත්වය සුවිශේෂීයි. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා දිවයිනේ නොදියුණු දුෂ්කර පළාත්වල, විශේෂයෙන්ම අම්පාර වැනි දිස්ත්‍රික්කවල පවා ගොවි ජනපද බිහි කරමින් කෘෂිකර්මාන්තය ඉහළ නැංවීම සඳහා කරන ලද වැඩපිළිවෙල ඉතාම ඉහළින්ම කැපී පෙනෙනවා. ඒ නිසා අද මේ රට බතින්, සහලින් ස්වයංපෝෂිතයි. ඒ ගත් වෑයම තමයි දැන් මේ විදිහට ඉදරියට ගෙනියන්නේ.

ඊට අමතරව විවිධ යුගවල, බලයට පත් වූ අවස්ථාවන්හිදී, විශේෂයෙන්ම රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඇඟලුම් කර්මාන්තශාලා 300ක් මේ රටේ ඇති කර විදේශ විනිමය උපයන වැඩපිළිවෙලක් සකස් කලා. එතුමාගේ ගම්උදාව වැඩසටහන මෙරට ජනතාව ඉතාම අගය කරපු නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා කරන ලද තවත් ප්‍රයත්නයක් හැටියටයි අප දකින්නේ.

එසේම ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට රටට විවෘත ආර්ථිකය හඳුන්වා දී නව මානයකට ශ්‍රී ලංකාව ගෙන යාමට හැකිවුණා. විවිධ විවේචන ඒ පිළිබඳව තිබුණත්, අද මා හිතන්නේ සෑම රජයක් විසින්ම පෞද්ගලික අංශය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල තුළින් දේශීය ආර්ථිකය ගොඩනැංවීමට අනුගත වෙලා.

විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සුවිශේෂී නායකත්වයක් අපට පෙන්නුම් කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. රට බංකොලොත් බවට පත්ව ඩොලර් නැතිවුණු අවස්ථාවේදී, ජනතාවට ගෑස්, තෙල් ලබා ගැනීමට නොහැකිව සිටිත්දී මෙන්ම හැමදෙනාම ප්‍රතික්ෂේප කරද්දී එතුමා මේ රටේ නායකත්වය භාරගත්තා. රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ දේශපාලන ගමන ගැන කල්පනා කරන්නේ නැතිව දුෂ්කර තීරණ රාශියක් ගනිමින් රට ගොඩනැංවීම සඳහා විශාල ප්‍රයත්නයක් අරගෙන, ඒ ආර්ථික තත්ත්වයෙන් ඉහළට අරගෙන, රටේ ආර්ථිකය සකස් කර මහා භාණ්ඩාගාරයේ ඩොලර් බිලියන 6ක් පමණ ඉතුරු කලා. එවැනි රටකුයි එතුමා වර්තමාන රජයට බාරදුන්නේ.

එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් කරන ලද ඒ සේවය අපි පක්ෂ භේදයෙන් තොරව අගය කරන බව මේ 80 වැනි සංවත්සරයේදී ප්‍රකාශ කරන්න කැමතියි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරන ලද නායකයා එක්සත් ජාතික පක්ෂයේ අංකුරයක් වූවා. එක්සත් ජාතික පක්ෂය අතහැර දාලා වඩාත් ප්‍රගතිශීලී ගමනක් සහ රටේ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීම සඳහා වඩාත් සීඝ්‍ර ගමනක් යන්න ඕන කියලායි එතුමා ඒ පක්ෂය අතහැරලා දාලා ආවේ.

දේශපාලන වශයෙන් අපට එක්සත් ජාතික පක්ෂය සමඟ මතවාදී යම් යම් ප්‍රශ්න තිබුණත්, මේ අවස්ථාවේදී කුහක නොවී ඒ පක්ෂය අසූ වසර තුළ කරන ලද සේවාව, එයට නායකත්වය දෙන ලද පුද්ගලයින් අගය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය තුළ දේශපාලනය කියන්නේ වෛරී දේශපාලනයක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මතවාදී දේශපාලනයක් පමණයි කියන එක අප සපථ කළ යුතුයි.

මේ අවස්ථාවේදී මා එක්සත් ජාතික පක්ෂයට අපේ සුභ පැතුම් එකතු කරනවා, අසූ වසරක් තිස්සේ මෙරටට කරන ලද සේවාව පිළිබඳ ඒ සමගම සිහිපත් කරනවා.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදහස් දක්වමින් මෙසේ කීවේය.

මේ රටේ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරය සමරන මේ වෙලාවේ සමගි ජන බලවේගය විදිහට අපේ පක්ෂයේ සුභාශිංසනය පිරිනමනවා.

එදා නිදහස් සටනේ නායක පිරිස, ලංකා ජාතික සංගමයේ නායක පිරිස නිදහස ලබා ගන්න කටයුතු කරද්දී අවශ්‍ය වුණා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් අවශ්‍ය වුණා.

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා, සර් ජෝන් කොතලාවල මැතිතුමා, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා, ඒ වගේම ඩඩ්ලි සේනානායක මැතිතුමා ඇතුළු ටී. බී. ජයා මැතිතුමා, අරුණාචලම් රාමනාදන් මැතිතුමා, නඩේෂන් මැතිතුමා වැනි අය එක්කාසු වී එක්සත් ජාතික පක්ෂය පිහිටෙව්වා.

1946 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා එක්සත් ජාතික පක්ෂය කොළඹ ෆාම් කෝට් මන්දිරයේ දී පක්ෂය පිහිටුවද්දී ඩී. එස්. සේනානායක මැතිතුමා කිව්වේ, එක්සත් ජාතික පක්ෂය සියලු ජාතීන්ට අයිති පක්ෂය කියායි. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා, බෞද්ධ, හින්දු, ඉස්ලාම් මේ සියලු දෙනාටම එක තැනක ඉන්න පුළුවන් පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට නායකයන් 7 දෙනෙකු සිටිනවා. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මැ, ඒ වගේම ඩී. බී. විජේතුංග සහ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුයි.

එක්සත් ජාතික පක්ෂය පටන් ගද්දී සියලුම නායකයන් හිටියා, සභාපති වශයෙන් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා, උපසභාපති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා, සර් ජෝන් කොතලාවල මැතිතුමා, ඒ වගේම මහාදේවන් මැතිතුමා, ටී. බී. ජයා මැතිතුමා ඇතුළු පිරිසක් මෙතන හිටියා. ආගමික, ජාති භේදවලින් තොරව මේ පක්ෂය පිහිටෙව්වා.

මේ රටට විශාලතම වැඩකොටස කර තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි. නිදහස ලබන විට අපට ඕනෑ හාල් ටික තිබ්බේ නැහැ. මහා කෘෂිකර්ම විප්ලවයක් කර ගල්ඔය, මහවැළිය, මිණිපේ, ගොවි ජනපද ව්‍යාපාර සියල්ල එක්සත් ජාතික පක්ෂය ඇති කළ දේවල් වෙනවා. එක්සත් ජාතික පක්ෂය රට සහලින් ස්වයංපෝෂණය කළා.

1977 දී ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා මේ රටේ කාර්මික විප්ලවයක් ඇති කලා. ඇඟලුම් කර්මාන්ත ශාලා, නිදහස් වෙළඳ කලාප, මේ සියල්ල ඇති කර ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කළා. ඒ වගේම විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමය මෙරටට මුලින්ම හඳුන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

ඒ විතරක් ද නොවෙයි, සර් ජෝන් කොතලාවල මැතිතුමා ලක්ෂපාන විදුලි බලය පටන් ගත්තා. එතැනින් තමයි කර්මාන්ත පටන් ගත්තේ. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා හඳුන්වාදුන් නිදහස් අධ්‍යාපනය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත්, ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාත් තවතවත් අර්ථවත් කළා.

එලෙසම රණසිංහ ප්‍රේමදාස මැතිතුමා රටේ දුප්පතුන් වෙනුවෙන් ග්‍රාමීය ප්‍රදේශ දියුණු කර නගර සංවර්ධනයට අවශ්‍ය කටයුතු කළා. අධ්‍යාපනයට අවශ්‍ය සියලු කටයුතු එක්සත් ජාතික පක්ෂයෙන් සිදුවුණා.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව 1971 කැරැල්ලත්, JVP 1988- 1989 කරැල්ලත්, තිස් අවුරුදු යුද්ධයටත් මුහුණ දෙන්න සිදුවුණා.

පක්ෂයේ විශාල නායකයෝ පිරිසක් අහිමි වුණා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමා, ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා. පාක්ෂිකයෝ පමණක් හය හත්දාහක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කළා. කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක එබඳු ජීවිත පූජාවෙන් රැක ගත් පක්ෂයක් නැහැ.

අද මං හිතන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අභියෝගයක් ඇවිල්ලා. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණයේ බල තුලනය අහිමි වෙන තත්ත්වයට පත් වෙලා. විධායකයේ, ව්‍යවස්ථාදායකයේ බලය පක්ෂයකට යනකොට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේ අධිකරණයයි.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න කටයුතු කරනවා. ආයුධ බලයෙන් බලය ගන්න ගිය පක්ෂයක් අද අහම්බෙන් ඡන්දයෙන් ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා.

මේ වෙලාවේ සියලු දෙනාම එක්කහු වෙලා එදා එක්සත් ජාතික පක්ෂය නිදහස ගන්න ක්‍රියා කළ ආකාරයට කටයුතු කළ යුතුයි. සමගි ජන බලවේගය විදිහට අප එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලන ව්‍යාපාරය පටන් ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ බොහෝ ප්‍රතිපත්ති අපේ ප්‍රතිපත්තිමයි. මමත් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කර අද සමගි ජන බලවේගයට කටයුතු කරනවා.

මා කියන්නේ මේ වැදගත් අවස්ථාවේ නැවත එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් ඒකාබද්ධ වෙන්න ඕනෑ කියායි. එක්සත් ජාතික පක්ෂයට අපේ සුභාශිංසන පිරිනමනවා.