“ඒහි පස්සිකෝ“ සාම පාද යාත්‍රාවේ තුන්වන දිනය අදයි. එම පාද යාත්‍රාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිට මාවනැල්ල, බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරය දක්වා ගමන් කිරීමට නියමිතයි.

පාද යාත්‍රාවට එක්වන ස්වාමීන් වහන්සේ අද උදෑසන හීල් දානය ලබාගත්තේ දළදා මාලිගාවේදීයි.

ඉන් අනතුරුව දළදා වහන්සේ වැදපුදාගෙන් අනතුරුව උන්වහන්සේලා මහනුවරින් පාද යාත්‍රාව ආරම්භ කළා.

දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම පාගමන පසුගිය 21 වනදා ගමන් ආරම්භ කළේ දඹුල්ල රජමහා විහාරස්ථානයෙන්.

භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුණා.

එය “ඒහිපස්සිකෝ “සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණා.

ඒ අනුව වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ පසුගියදා දිවයිනට වැඩම කළා.

මෙම සාම පා ගමන සඳහා ”‍ආලෝකා”‍ නැමැති සුනඛයාද භික්ෂූන් වහන්සේ සමග එක්ව සිටිනවා.