කූෂ් සහ හෂිස් මත්ද්‍රව්‍ය සමග කටුනායක දීඅත්අඩංගුවට ගත් චීවරධාරීන්ගේ විදේශ සංචාරය සංවිධානය කළ බව කියන ප්‍රධාන සැකකාර හිමිනමද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ඒ ගම්පහ, මීහගවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්.
අත්අඩංගුවට ගත් හිමිනම, මත්ද්‍රව්‍ය සමඟ පැමිණි අනෙක් භික්ෂූන් වහන්සේලා 22 නමගේ තායිලන්ත සංචාරය සැලසුම් කිරීමේ සහ මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවටයි පොලිසිය සැක කරනු ලබන්නේ.
රුපියල් කෝටි 110කට ආසන්න වටිනාකමකින් යුත් කූෂ් සහ හෂිස් මත්ද්‍රව්‍ය සමග කටුනායක දී අත්අඩංගුවට ගත් පිරිස තායිලන්තයේදී ගිහියන් ලෙස කළ සමහර ක්‍රියාකාරකම් පිළිබඳ ඡායාරූප විමර්ශකයන් විසින් අනාවරණ කරගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ චීවර දරාගෙන සිටි පුද්ගලයින් 22 දෙදෙනෙක්.
කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ රාත්‍රී ඔවුන් අත්අඩංගුවට ගැනුණා.
ඒ තයිලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී.
ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ සෙල්ලම් බඩු හා රස කැවිලි සමග මත්ද්‍රව්‍ය සඟවා තිබුණා.
සෑම චීවරධාරියෙකුගේම ගමන් මළු තුළ කිලෝ ග්‍රෑම් 05 කට අධික මත්ද්‍රව්‍ය තිබී ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තකරු සඳහන් කළේ.
මෙම සැකකාර චීවරධාරින් අනුග්‍රහකයෙකු විසින් ලබා දුන් ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මත පසුගිය 22වනදා මෙරටින් තායිලන්තය බලා ගොස් ඇති අතර එහිදී ඔවුන් ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී සිටින ඡායාරූප සහ වීඩීයෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථන තුළ පටිගත වී තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.
මොවුන් දිවයින පුරා විවිධ ප්‍රදේශවල පදිංචිව සිටින තරුණ චීවරධාරින් පිරිසක් වන අතර ඔවුන් විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින පිරිසක් බවද සඳහන් වනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතර චීවරධාරින් පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව ද මෙය වන බවටයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් මෙම සැකකාර චීවරධාරින් අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.




