කටුනායක දැවමොට්ටාව ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පොලිස් නිලධාරියා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු දැවමොට්ටාව ප්‍රදේශයේ විදුලි කණුවක් අසල ස්ථානයක සැක සහිත ලෙස හැසිරී තිබෙනවා.

ඒ බව දුටු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එහි පැමිණ සිදුවන්නේ කුමක්දැයි පරීක්ෂා කර ඇති අතර එම අවස්ථාවේදී සැක සහිත ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදියෙන්ම පලා ගොස් ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් දෙදෙනාද ඔවුන් ලුහුබැඳ ගොස් ඇති අතර ඔවුන් නවත්වා අත්අඩංගුවට ගැනීමටද පොලිස් නිලධාරීන් සමත් වී තිබෙනවා.

පසුව නිලධාරීන් දෙදෙනාගෙන් අයකු සැකකරුවන් දෙදෙනා සමග නතර වී අනෙක් නිලධාරියා ඔවුන් සැක සහිත ලෙස හැසිරීමෙන් සිටි ස්ථානයට වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ.

එම අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා ඔවුන් සමග නතර වූ පොලිස් නිලධාරියාට පහරදී තිබෙනවා.

මෙහිදී පොර බැඳීමක් සිදුව ඇති අතර පොලිස් නිලධාරියා සහාය ඉල්ලා කෑ ගසා ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ.

නිලධාරියාගේ කෑගැසුම් හඬ ඇසී අසල මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි තවත් නිලධාරියෙකු එහි පැමිණ තිබෙනවා.

ක්එම අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු නිලධාරියාගේ රාජකාරී ගිනි අවිය උදුරාගෙන වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියා සිටියේ.

නිලධාරියාගේ පාදයට වෙඩි වැදී ඇති බවද කෙසේ වෙතත් නිලධාරියාගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවද ප්‍රකාශ කෙරුණා.