කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පියයුරු පිළිකා සහ පියයුරුවල ඇති වන වෙනත් අසාමාන්‍ය ගැටිති හෝ වෙනස්කම් මුල් අවධියේදීම හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා භාවිතා කරනු ලබන අතිනවීන මැමෝගැෆි යන්ත්‍ර 05 ක් දිවයිනේ පිළිකා ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන ප්‍රධාන රෝහල් 05 ක් වෙත ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ජනතාවට ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් විධිමත්ව සහ වඩා කාර්යක්ෂමව සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නිශ්චිත සැලසුම් කරන ලද වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නංවා තිබෙන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
ඒ අනුව කොළඹ ජාතික රෝහල, ගාල්ල කරාපිටිය ජාතික රෝහල, නුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ අපේක්ෂා රෝහල යන රෝහල් තුළින් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා මෙම මැමෝග්‍රැෆි යන්ත්‍ර ලබාදීමට නියමිතයි.
මෙම එක් මැමෝග්‍රැෆි යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 153 ක් වන අතර සමස්ත උපකරණවල මුළු වටිනාකම රුපියල් මිලියන 765ක් වනවා.
මෙම වැඩපිළිවෙළට අමතරව හදිසි අවශ්‍යතාවය මත ත්‍රිකුණාමලය හා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් 02 සඳහා ද භාවිතා කරන ලද මැමෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් ලබාදීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තිරණ කර තිබෙනවා.
දැනට මැමෝග්‍රැෆි යන්ත්‍ර 16ක් දිවයින පුරා සක්‍රීය සේවයේ යොදවා ඇති අතර, මෙම නව යන්ත්‍ර ලබාදීමත් සමග එම ප්‍රමාණය 23 දක්වා ඉහළ යනු ඇති.




