කැළණි, කළු සහ අත්තනගලු ඔයේ ඉහළ ගිය ජල මට්ටම් මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් පහත්බිම්වල ජනතාව තවදුරටත් විමසිල්ලෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග අධ්‍යක්‍ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල් ඒ සූරියබණ්ඩාර මහතා පැවසුවේ.

අත්තනගලු ඔයේ ඇතැම් පහත් බිම්වල මේ වනවිටත් සුළු ගංවතුර මට්ටමක පවතිනවා.

කැළණි ගගේ ජල මට්ටමද තවදුරටත් ඉහළ මට්ටමේ පවතින බවයි ඔහු කියාසිටියේ. ගිංගඟ, නිල්වලා ගඟ සහ මහඔය ආශ්‍රිතවද තවදුරටත් වැසි ඇදහැළෙමින් පවතිනවා.

ඒ අනුව එම ගංගා ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවද අවදානයෙන් සිටිය යුතු බවයි ප්‍රකාශ කෙරුණේ.

මේ අතර අද දිනයේද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

එමෙන්ම ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද ඔහු පැවසුවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ත් -40ත් පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි ප්‍රකාශ කෙරුණේ.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.