ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ අපරාධ කල්ලි සාමාජිකයෙක් වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ අද (09) උදෑසන දිවයිනට රැගෙන ඒමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළේදී  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

‘කොණ්ඩ රංජි’ ඉතාලියට පලායාමට උත්සාහ කිරීමේදී පසුගිය ජනවාරි 09 වැනිදා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබුණා.

එරට ආරක්ෂක අංශ විසින් ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවන් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව බිරිඳ සහ දරුවන් මුදාහැර තිබුණ බවයි සඳහන් වන්නේ.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ද ‘කොණ්ඩ රංජි’ පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව සඳහන්.

මීට අමතරව සංවිධානාත්මක ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස ද සැළකෙන බවයි සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සහ ඩුබායි ආරක්ෂක අංශ අතර සම්බන්ධීකරණයෙන් මෙම පුද්ගලයා මෙරටට රැගෙන එනු ලැබුව බවයි සඳහන් වන්නේ.