2008 වසරේ ආරවුලකින් අනතුරුව මුදල් කොල්ලකෑවේ යැයි චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරින් දෙදෙනෙකුට හා සිවිල් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර තිබෙනවා.

නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2008 වසරේ දෙහිවල ප්‍රදේශයේ අවන්හලකදී ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මුදල් කොල්ලකෑම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු පොලිස් නිලධාරින් දෙදෙනෙකුට සහ සිවිල් පුද්ගලයෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

එම චෝදනාවලට වරදකරු කෙරුණු සිවිල් පුද්ගලයෙකුට බරපතල වැඩ සහිත වසර 05 ක සිර දඬුවමක් විනිසුරුවරයා විසින් නියම කළා.

එම නඩුවේ චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට විනිසුරුවරයා විසින් බරපතළ වැඩ සහිත වසර 03 බැගින් වූ සිර දඬුවම් නියම කරනු ලැබුවා.

වරදකරු කෙරුණු විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසත් අධිකරණය නියෝග කළා.

කෙසේ වෙතත් මෙම දඩුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කරන බව විත්තිකරුවන්ගේ නීතිඥවරු දැනුම් දී තිබෙනවා.