අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත අයවැය තුළින් ජනතාවට සහන රැසක් ලැබෙන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

රටේ සංවර්ධන ක්ෂේත්‍රයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
"අපේ ආණ්ඩුවේ තුන්වෙනි අයවැය තමයි අද ඉදිරිපත් කරන්නේ ජනාධිපතිතුමා ඒ වගේම මුදල් අමාත්‍ය අනුර දිසානායක ජනාධිපතිතුමා විසින්. ඉතින් අපි බලාගෙන ඉමු අයවැය දිහා. විශේෂයෙන්ම ඉදිරි අපේ ආර්ථික දිශානතිය තීරණය කරන, ඒ වගේම ඉතිහාසයේ වැඩිම මුදලක් රටේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කරන ලද අයවැය, ඒ වගේම රාජ්‍ය සේවයේ විශේෂයෙන්ම ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස කටයුතු කරන විවිධ ක්ෂේත්‍රවල අයගේ දීමනා ඉහළ දමන අයවැයක්, සහ තුන්වෙනි අදියරේ වැටුප් වැඩිවීම සමස්ත රාජ්‍ය සේවයට ලැබෙන අයවැයක්, ඒ වගේම යම් යම් බදු සංශෝධන කරන බවටත් ජනාධිපතිතුමාගේ පැත්තෙන් අවධාරණය කරලා තිබුණා. ඉතින් මේ වගේ රටේ සමස්ත ජනතාවට සුබවාදී බලාපොරොත්තු සහිත අයවැයක් තමයි අද දවසේ ඉදිරිපත් කරන්න අපි ආණ්ඩුවක් ලෙස සූදානම් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අවධානය යොමු කරලා තිබෙනවා රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා. ලබන වසරේදී අපේම මුදල් වලින් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ආරම්භ වෙනවා. ඒ වගේම මම කලිනුත් සඳහන් කළා වගේ රටේ රාජ්‍ය සේවයේ විවිධ ක්ෂේත්‍ර වලට යම් යම් සහන ලබා දෙන්න, ඒ වගේම විශේෂයෙන්ම මේ වන විට රටේ ජනතාවට දැනෙන ජීවන වියදමට අදාළව යම් යම් සහන ලබා දෙන අයවැයක් බවට මේ පත්වෙනවා. ඒ වගේම රටේ ජනතාවගේ විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී ජනතාවගේ ආර්ථිකය සවිමත් කරන දිශාවට එල්ල වුණු අයවැයක් ලෙස තමයි මෙවර අයවැය අපිට හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නේ''