සිරදඩුවම් නියමවූ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත ස්ථානයක රැඳවු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ පස්වරු 5ට පමණ ඔහු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඉන් අනතුරුව පළමු සිදු කර ඇත්තේ සිරදඩුවම් නියම වන සිරකරුවන්ට ලබා දෙන ජම්පරය ඔහුට ද ලබාදීමයි.

ඒ, වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වනවාත් සමගයි.

එහිදි හිටපු අමාත්‍යවරයාට ද සිරකරුවන්ට නියම කරන බෙලෙක් පිගාන, බෙලෙක් කෝප්පය සහ සුළු දිය පහ කිරීම සදහා බාස්කට් එකක්ද නිකුත් කර තිබෙනවා.

සාමාන්‍යයෙන් සිරකරුවෙකුට ලබාදෙන ජම්පර දෙක හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ද නිකුත් කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඔහු එම ජම්පරය හැදගත් පසු සිරකරුවෙකු ලෙස වැලිකඩ බන්ධනාගාරයේ ලියාපදිංචි කර තිබෙනවා.

එහිදී ඔහුගේ නමින්ද සිරකරු අංකයක් නිකුත් කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඒ අනුව සිරදඩුවම ගෙවී අවසන් වන තෙක් ඔහුව බන්ධනාගාරය තුල දී අමතනු ලබන්නේ සහ සියලු කටයුතු කෙරෙන්නේ එම අංකය භාවිත කරමින්.

බන්ධනාගාරය වෙත රැගෙන එන සිරකරුවන් වෛද්‍යවරයෙකු විසින් ද පළමු දිනයේදීම පරීක්ෂා කරනු ලබනවා.

හිටපු අමාත්‍යවරයා ද ඊයේ රාත්‍රියේ වෛද්‍යවරයකු විසින් පරීක්ෂා කිරීමට නියමිතව තිබුණා.

ඉන් අනතුරුව සිරකරුවෙකු බන්ධනාගාරය තුල ගත කළයුතු ආකාරය සහ සිරකරුවෙකුට හිමිවන වරප්‍රසාද සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව දැනුවත් කර තිබෙනවා.

සාමාන්‍යයෙන් සිරදඩුවම් නියමවූ සිරකරුවෙකු බන්ධනාගාරය තුළට රැගෙන එන අවස්ථාවේදී ඔහු දැඩි ලෙස මානසිකව වැටී සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඒ අනුව එම සිරකරුවන් වෙනුවෙන් මානසික උපදේශන සේවාවක්ද බන්ධනාගාරය වෙත රැගෙන එන මුල් අවස්ථාවේදීම බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකරනු ලබනවා.

ඒ අනුව පියංකර ජයරත්න හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ද එය සිදුකළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඉන් අනතුරුවයි ඔහු වාට්ටුවක රඳවා ඇත්තේ.

ඔහුද වෙනත් සිරකරුවන් මෙන් උදෑසන 6ට බන්ධනාගාර වාට්ටුවෙන් පිටතට ගනු ලබනවා.

යලි වාට්ටුව තුලට දමන්නේ පස්වරු 5 ට බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

මේ අතර හිටපු අමාත්‍යවරයාට ද නිවසින් හෝ පිටස්තර පාර්ශ්වයකින් ලබාදෙන ආහාර ලබාගැනීමට අවසර හිමි වන්නේ නැහැ.

ඒ අනුව ඔහුද දිනපතා බන්ධනාගාරයෙන් නිකුත් කරන ආහාර තුන්වේලටම ලබාගත යුතු වනවා.

පියංකර ජයරත්න මහතා බැලීමට පවුලේ අයට ද අවස්ථාව හිමි වන්නේ මසකට එක් වරක් පමණයි.

එලෙස බන්ධනාගාරයට පැමිනෙන පවුලේ සාමාජිකයන්ට රැගෙන ආ හැක්කේ සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර පියංකර ජයරත්න මහතා අද දිනයේ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එහිදි පියංකර ජයරත්න මහතාට වැඩ කිරීමට ඇති හැකියාවන් සහ දක්ෂතා පිලිබද විමසීමෙන් අනතුරුව ඊට අදාල වැඩ අංශයක් සදහා ඔහු යොමු කරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

වැලිකඩ බන්ධනාගාරය තුළ මේසන්, වඩු, මුද්‍රණ, බේකරි, ආහාර පිසීම ඇතුළු වැඩ අංශ කිහිපයක්ම ක්‍රියාත්මකයි.

හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට
වසර 14ක බරපතල වැඩ සහිත සිරදඩුවම් ඊයේ නියම කෙරුණා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා දුන් නියෝගයකට අනුවයි.

අල්ලස් කොමිසම ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ. 2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින පෙළපාලියට ආ දේශපාලන ආධාරකරුවන්ට දිවා ආහාරය සැපයීම සදහා රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා කේටරින් ආයතනයෙන් මුදල් යෙදවීමට එහි ප්‍රධාන විධායක නිලධාරිවරයාට බලපෑම් කිරීමේ චෝදනාව යටතේයි.

ඒ අනුව ඔහු දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පියංකර ජයරත්න මහතාට එරෙහිව නඩු පවරා තිබුණා.

මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව අධිචෝදනා දෙකක් ගොනුකර තිබූ අතර පියංකර ජයරත්න මහතා එම චෝදනා දෙකටම වැරදිකරුවන් බවයි නියෝගයේ සදහන් වුණේ.

එක් එක් චෝදනාවට වසර 7 බැගින් සිරදඩුවම් නියම කෙරුණා.

කෙසේවෙතත් මෙම සිරදඩුවම එකවර ගෙවී යන පරිදි නියම කරන බවයි නියෝගයේ වැඩිදුරටත් සදහන් වුණේ.

මීට අමතරව රුපියල් ලක්‍ෂ දෙකක දඩයක්ද හිටපු අමාත්‍යවරයාට නියම කෙරුණා.