සිරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනපති සමාව හිමි වෙයිද?
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සෞඛ්ය තත්ත්වය දැන් කොහොමද?
ඒ ඇතුළු මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් කනින් කොනින් විශේෂාංගය පහතින්
''පහුගිය දවස්වල වැඩිපුරම කතාබහට ලක්වෙච්ච මාතෘකාවක් තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇයි, ශිරන්ති රාජපක්ෂ හිටපු ජනාධිපති ආර්යාවටයි මොකද සිද්ධ වුණේ කියලා. කවුරුත් වැඩිය දැන් කතා කරන්නේ නැති හින්දා අපි මුලින්ම ඒ ගැන කියන්න ලෑස්ති වෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික රෝහලක ප්රතිකාර ලැබුවානේ. වාර්තා වෙන ආකාරයට ඔහු දැන් සුවවෙලා ගෙදර ගිහින්. පවුලේ ඉන්න සමීපතම ආරංචි මාර්ග කියන විදිහට නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දැන් ගොඩාක් හොඳයි, සුවෙන් තමයි ඉන්නේ. මුලින්ම ඔබට මතක ඇතිනේ හදිසි අසනීප තත්ත්වයක් හින්දා පෞද්ගලික රෝහලකට ඇතුළත් කරලා, MICU යුනිට් එකට දාලා, ඊට පස්සේ ICU දාලා, පස්සේ තමයි සාමාන්ය වාට්ටුවකට ඇතුළත් කළේ. කොහොමහරි දැන් ගෙදරත් ඇවිල්ලා, ඊයේ මගුල් ගෙදරකටත් ගිහින් කියලා තමයි අපිට දැනගන්න හම්බුණේ. ඔය අතරතුරේදී ශිරන්ති රාජපක්ෂ හිටපු ජනාධිපති ආර්යාව කොළඹ ජාතික රෝහලේ හිටියේ, ඈව මාරු කරලා තියෙනවා කොළඹ පෞද්ගලික රෝහලකට. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හිටපු රෝහලට අරන් ගියා කියලා තමයි වාර්තා වෙන්නේ. වාර්තා වෙන විදිහටම ශිරන්ති රාජපක්ෂට හදවතේ සැත්කමක් සිදුකරලා තියෙනවා. ඒ කියන්නේ මේක බයිපාස් එකක් නෙමෙයි, හෘද ස්පන්දන වේගයේ (Heart rate) වෙනසක් තියෙනවා කියලා වෛද්යවරු මුලින්ම හඳුනාගෙන තියෙනවා පරීක්ෂණවලදී. ඒ අනුව තමයි මේ හදවත ආශ්රිතව මේ සැත්කම සිදුකරලා තියෙන්නේ. බයිපාස් එක පසුව සිදුකරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. දැනුත් ඇය පෞද්ගලික රෝහලේ ප්රතිකාර ලබනවා කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ. මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ වගේම පහුගිය කාලේ වැඩිපුරම කතාබහට ලක්වෙච්ච මාතෘකාවක් තමයි ඥානසාර හාමුදුරුවෝ. ඒ මාතෘකාවේ උණුසුම තාමත් අවසන් වෙලා නැහැ. ඥානසාර හිමියන්ට සමාව ඉල්ලලා තාමත් විහාරමහාදේවි උද්යානයේ සත්යග්රහයක් තියෙනවා. සත්යග්රහකයෝ නම් නෙමෙයි, නොවෙරදිවස් කවි කියනවා, වෙන වෙන බයිලා තොවිල් කරනවා, බණත් කියනවා. එකී මෙකී නොකී දේවල් ගොඩක් කරනවා. කොහොමහරි ඔය විදිහට ඔය වැඩේ ඒ පැත්තෙන් කරගෙන යද්දී, ජනාධිපතිවරයාට දිගින් දිගටම දුරකථන ඇමතුම් එනවා, කට්ටිය එනවා හම්බවෙනවා, කතා කරනවා, මේ ගැන ප්රශ්න කරනවා. බහුතරයක් ඥානසාර හාමුදුරුවන්ගේ නිදහස ගැන කතා කරද්දී, තවත් පිරිසක් සිවුර (චීවරය) ඇඳීම පිළිබඳවත් කතා කරමින් ඉන්නවා. ඉතින් හැම කෙනාම කියන දේවල්වලට ජනාධිපතිවරයා බොහොම හොඳින් සාවධානව ඇහුම්කන් දීලා තියෙනවා. ජනාධිපතිවරයා අන්තිමට හැමෝටම උත්තරයක් දීලා තියෙනවා, මෙන්න මේ විදිහට අර විහාරමහාදේවී එකේ ඉන්න සෙට් එකටත් ඇහෙන්න එක්කම:
"මේක මට ජනාධිපති විදිහට සමාව දෙන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒක වෙන්න ඕනේ අධිකරණයෙන්. ඒක ඕනේ නම් අධිකරණයට යන්න ඕනේ. ආගමික නායකයෙක් හරි, ආගමික නියෝජිතයෙක් හරි, ආගමික ශාස්තෲවරයෙක් හරි බන්ධනාගාරගත වුණාට පස්සේ, පිටතදී අඳින්න ඕනේ ඇඳුම මොකක්ද කියන එක සම්බන්ධයෙන් ඕනේ නම් අපි තව කතා කරමු. හැබැයි ඉතින් ජනාධිපති සමාව ගැන නම් ආයේ කතා කරලා වැඩක් නැහැ"
කියලා තමයි ජනාධිපතිවරයා ආපු ඒ අහපු හැමෝටම සැර උත්තරයක් විදිහට දීලා තියෙන්නේ.
දැන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා සම්බන්ධයෙන් පොඩි සංවාදයක් මතුවෙලා තියෙනවා.
දැන් නායකයා නාමල් රාජපක්ෂනේ ජාතික සංවිධායකවරයා වශයෙන් ඉන්නේ. ඉතින් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා දිගින් දිගටම බන්ධනාගාරගත වෙලා ඉන්නැද්දී, පක්ෂයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාම සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙලා තිබෙනවා. ඒ අනුව පක්ෂයට නායකත්වය දීලා පක්ෂය ඉදිරියට අරගෙන යන්නේ කවුද, කොහොමද ඒ කටයුතුවලට සම්බන්ධ කරගන්නේ, කොහොමද කවුද කියන එක පිළිබඳව කට්ටිය මේ වෙද්දී හොයමින් කතා කරමින් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේකෙදි වාර්තා වෙන විදිහට පොහොට්ටුවේ ඉදලා කැඩිලා ගිහිල්ලා අපේ රනිල් වික්රමසිංහ හිටපු ජනාධිපතිවරයාට සහාය දක්වපු කණ්ඩායම ඉන්නේ, අර මං පහුගිය සතියේ කිව්වේ මේ ගිහිල්ලා හම්බුණා කියලා රනිල් වික්රමසිංහ හිටපු ජනාධිපතිවරයාව. ඒ හම්බෙච්ච කණ්ඩායමේ දෙන්නෙක් ගැන අවධානය යොමුවෙලා තිබෙනවා. එක කෙනෙක් තමයි රමේෂ් පතිරණ, අනෙක් කෙනා කාංචන විජේසේකර. මේ දෙන්නව මූලිකත්වයේ අරගෙන, මේ දෙන්නව ඉස්සරහට දාලා ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඉස්සරහට අරන් යන්න පුළුවන්ද කියන එක පිළිබඳව නිල නොවන මට්ටමේ අදහස් විමසීම් සහ සාකච්ඡාවක් තිබ්බා කියලත් වාර්තා වෙනවා. මේවා ඉතින් තහවුරු වෙලා, ඇත්ත වෙලා, පක්ෂයේ ආශීර්වාදය ඇවිල්ලා, නායකයින්ගේ ආශීර්වාදය ඇවිල්ලා, ලොකු ලොකු තැන්වලින් අනුමත වෙලා එද්දී ඉතින් තව කාලයක් යයි. හැබැයි මේ සම්බන්ධයෙනුත් යම් සාකච්ඡාවක් මතුවෙලා තිබෙනවා අභ්යන්තරයේ, හේතුව පක්ෂයේ කටයුතු නතර වෙන්නේ නැතුව ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියන සංවාදයත් එක්කම.''




