ශ්‍රී ලංකාව තුළ විවිධ අපරාධ වලට චෝදනා ලබා සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පළා ගොස් සැගවී සිටින අතරතුර මැදපෙරදිග යුද්ධයේදී භාවිතා කළ ඩ්‍රෝන යානා , මිසයිල වීඩීයෝ සහ ජායාරූප ගත කර තම ජංගම දුරකථන තුළ තබා ගෙන සිටියදී , එරට ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , රක්ෂිත බන්ධනාගාර ගත කර සිට , අද උදෑසන ගුවන් යානා දෙකකින් මෙරටට පිටුවහල් කර එවා තිබුණා.

මෙම පිරිස අතර තරුණියන් දෙදෙනෙකු ද සිටින අතර ඉතිරි පිරිස මෙරට විවිධ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයන් 19 දෙනෙක් .

ඔවුන් සාජා නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ජී.9.- 587 දරන ගුවන් යානයෙන් අද අලුයම 02.30 ට සහ එම ගුවන් සේවයේ ජී.9.- 502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ අතර , ඒ වනවිට කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා එම ගුවන් යානා මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබුණා.

ඉන්පසුව කාළගුණික තත්වය යහපත් වූ පසු උදෑසන 08.10 වනවිට මෙම ගුවන් යානා දෙක මත්තල සිට යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහිදී ජී.9.- 587 දරන ගුවන් යානයෙන් කොළඹ ප්‍රදේශයේ පදිංචි පොතුමුල්ල කන්කානම්ගේ චානුක පුෂ්පකුමාර , මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මල්දෙණියගේ කසුන් සච්චන , ගම්පහ ප්‍රදේශයේ පදිංචි වළිමුණි දේවගේ මධුසංඛ පුෂ්පලාල් , කොළඹ ප්‍රදේශයේ පදිංචි කිරුපනන්ද කෙව්තෙමාන් , රාගම ප්‍රදේශයේ පදිංචි රන්හොටි ගෙදර දිනුක ප්‍රභාත් , කොළඹ ප්‍රදේශයේ පදිංචි කමල්දීන් මොහොමඩ් සාප්රාස් , අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි නැකැත් ගමරාළගේ දිල්ෂාන් සුගත් කුමාර , ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි ගොඩමුණේ විතානගේ අජිත් කුමාර , මීගමුව ප්‍රදේශයේ පදිංචි වෙන්ඩකෝන් poliමුදියන්සේලාගේ ප්‍රදීප් කුමාර සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි කලුපෙ මහහේවගේ චලන සංගීත් යන 10 දෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.

එමෙන්ම ජී.9.-502 දරන ගුවන් යානයෙන් කොළඹ ප්‍රදේශයේ පදිංචි කලුතරගේ චතුර බුද්ධික , මාරවිල ප්‍රදේශයේ පදිංචි අඹගහගේ සුපුන් තිළිණ , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි වී සිටි ක්ලැරන්ස් දිනේශ් මධුසංඛ , කොළඹ ප්‍රදේශයේ පදිංචි සුන්දරදාස් සුලෝචනා , මුන්දලම ප්‍රදේශයේ පදිංචි වීරබාහු මුදියන්සේලාගේ තුසිත ප්‍රදීප් , කොළඹ ප්‍රදේශයේ පදිංචි කලුපෙ මහහේවගේ ගෙහානි ගෞෂිකා  , කොළඹ ප්‍රදේශයේ පදිංචි අචිල නිරංග කුමාර , වාරියපොළ ප්‍රදේශයේ පදිංචි සුරත් තුෂාර පෙරේරා , කොළඹ ප්‍රදේශයේ පදිංචි තෝල්ක මුදියන්සේලාගේ රොෂාන් ප්‍රදීප් රුද්‍රිගු , කොළඹ ප්‍රදේශයේ පදිංචි අනුරාධ උපශාන්ත ප්‍රනාන්දු සහ දෙහිවල ප්‍රදේශයේ පදිංචි සමන් පුෂ්පලාල් පෙරේරා යන 11 දෙනා පිටුවහල් කර එවා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අදාල පොලිස් ස්ථාන වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර එම පිරිස සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් ඒ වුට්ලර් මහතා ද අදහස් පළ කළා.