ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කිරීමේ දී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද ඇපමත මුදා හැරුණා.

විශේෂත්වයක් වන්නේ උන්වහන්සේ වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී නොසිටීම සහ ඇප අයදුම උන්වහන්සේ විසින්ම අධිකරණයට ඉදිරිපත් කිරීමයි.

අදාළ නඩුකරය වෙනුවෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

නඩුකරය අද සැලකිල්ලට ගැණුනේ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම් එස් එම් සම්සුදීන් මහතා ඉදිරියේයි.

එහිදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෙනුවෙන් රුපියල් දස දහසක ශරීර ඇපයක් නියම කෙරුණු අතර ඇපකරු විසින් ග්‍රාම නිලධාරී සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කෙරුණා.

මීට අමතරව අධිකරණයට හෝ නීතිපතිවරයාට අපහාසාත්මක වන ප්‍රකාශ සිදු නොකරන ලෙස පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට තරයේ අවවාදයක් කෙරුණු බවයි නඩුකරය ආවරණය කළ නෙත් නිවුස් නියෝජිත අමදෝරු අමරජිව පැවසුවේ.

මීළඟ නඩු දිනයේදි අධිකරණය හමුවේ අනිවාර්යයෙන් පෙනි සිටින ලෙස ද උන්වහන්සේට නියෝග කෙරුණා. නඩුව නැවත කැදවීමට දින නියම කෙරුණේ ලබන ජනවාරි මස 6 වනදාටයි.