ශ්‍රී ලංකාවේ දක්ෂතම දඟ පන්දු යවන්නියක වන දකුණතින් මෙන්ම වමතින් ද, අත් දෙකෙන්ම පන්දු යවන හැකියාව සහිත ශෂිනි ගිම්හානිට මෙවර පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබෙනවා.

තරගාවලිය සඳහා නම් කෙරුණු සාමාජිකාවන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇයද ඇතුළත්ව සිටි නමුත් පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වීම හේතුවෙනුයි දැන් ඇයට එහි ස්ථානය අහිමිවී තිබෙන්නේ.

පහළොස්වන වියේදීම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වරම් දිනාගත් ශෂීනි ගිම්හානි තවමත් 17වන වියේ පසුවන්නියක්.

ඇගෙන් පුරප්පාඩු වන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයේ ස්ථානයට චේතනා විමුක්ති කැඳවා තිබෙනවා.

මේ වන විට 24 වන වියේ පසුවන ඇය දකුණතින් මඳ වේග පන්දු යවන්නියක්.

කෙසේ වෙතත් ඇය මේ දක්වා කිසිදු ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස තරඟයකට සහභාගිවි නැහැ.

එක් දින තරග තුනකට පමණක් ඇය සහභාගිවී තිබෙනවා.

මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා සංචිතය ඉකුත්දා එංගලන්තය බලා පිටව ගිය අතර තරඟාවලියේ ආරම්භක තරගය ලබන 12 වනදා පැවැත්වීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව තරග වදිනවා.