වසර දෙකකට ආසන්න කාලයක් පොලිසිය මගහරිමින් සැඟවී සිටි දාවුඩ් ඉබ්රාහිම්ගේ සමීපතමයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලීම් ඉස්මයිල් ඩෝලා (Salim Ismail Dola) ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සලීම් ඉස්මයිල් ඩෝලා (Salim Ismail Dola) මුම්බායි අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔහු මැයි 08 වනදා දක්වා මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය (NCB) භාරයේ තැබීමටයි එහිදී නියෝග කෙරුණේ.
2023 වසරේදී අත්අඩංගුවට ගත් මෙෆෙඩ්‍රෝන් (Mephedrone) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ක තොගයක් සැපයීම සම්බන්ධයෙන් සලීම් ඉස්මයිල් ඩෝලාට චෝදනා පවතිනවා.
දැන් කෙරෙන ප්රශ්ණකිරීම්වලදී ඔහු පවසා ඇත්තේ මාසිකව මෙෆෙඩ්‍රෝන් කිලෝග්‍රෑම් 40ක් පමණ බෙදාහරින මහා පරිමාණ ජාලයක් ඔහු විසින් හසුරුවන බවයි.
අනාවරණ වූ තොරතුරු අනුව සලීම් ඉස්මයිල් ඩෝලා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් ඉන්දීය රුපියල් කෝටි 7 වැඩි වත්කම් මේ වන විටත් තහනම් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
සිදුකරන වැඩිදුර ප්‍රශ්න කිරීම් හරහා ඉන්දියාව පුරා පැතිරුණු තවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයන් රැසක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි ආරක්ෂක අංශ විශ්වාසය පළ කරනවා.
මේ අතර සලීම් ඉස්මයිල් ඩෝලා (Salim Ismail Dola) ගේ ප්‍රධානිය බවට විශ්වාස කෙරෙන දාවුඩ් ඒබ්රාහිම් නමැත්තා ශ්‍රී ලංකාවේ ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සන්ධනාගත වී ඇතැයි මීට පෙර වාර්තා වුණා.
මෙම සන්ධානය හරහා කොටි සංවිධානය යළි සංවිධාන කිරීමේ සැලසුමක් ද ඇති බවටයි ඉන්දීය බුද්ධි සේවා අනාවරණ කරගෙන ඇත්තේ.




