දියේ ගිලීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමේ ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීම සහ ජීවිතාරක්‍ෂක ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

දියේ ගිලීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සහ ජීවිතාරක්‍ෂක කටයුතු සඳහා ශක්තිමත් ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීමේ මෙම මූලික සාකච්ඡාව පවත්වා ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයී.

ඒ අනුව දියේ ගිලීමෙන් සිදුවන අනතුරු අවම කිරීම සහ දිවයින පුරා මහජන ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා ඒකාබද්ධ, බහුවිධ අංශ සම්බන්ධ කරගත් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම මෙම සාකච්ඡාවේ අරමුණයි.

මෙම හමුව, ජීවිත ආරක්‍ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ ජලජ පරිසරයේ සුරක්‍ෂිතභාවය තහවුරු කිරීම සඳහා ගත් කාලෝචිත මෙන්ම වැදගත් ආරම්භක පියවරක් ලෙස සනිටුහන් කරන බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.

වසර ගණනාවක් පුරා අක්‍රියව පැවති මෙම වැදගත් ප්‍රයත්නය මේ අනුව නිල වශයෙන් ආරම්භ වූ බවද එම අමාත්‍යංශය සදහන් කළා.

මෙම සැසිය පැවැත්වුණේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක යන මහත්වරුන්ගේ සභාපතිත්වයෙන්.

සාකච්ඡාව ආරම්භ කරමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ව්‍යුහාත්මක ආරක්‍ෂක යාන්ත්‍රණයක් නොමැතිකම ජාතික අවශ්‍යතාවලට බරපතල අවදානමක් ඇති කරන බවයි.

එමෙන්ම දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආරක්‍ෂාව සහතික කිරීම සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට සහ ගෝලීය මට්ටමින් රටේ කීර්තිනාමය ආරක්‍ෂා කර ගැනීමට අත්‍යවශ්‍ය බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී යෝජනා කළේ, ජීවිතාරක්‍ෂක සූදානම පිළිබඳ සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණින් ජල ආරක්ෂාව පිළිබද දැනුවත්භාවය ජාතික පාසල් විෂය මාලාවට ඇතුළත් කළ යුතු බවයි.