මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර නැරඹීම සදහා ඊයේ රාත්‍රියේ සිටම ජනතාව මහනුවර නගරයේ රැදි සිටිනවා.
දෙවන රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව ඇත්තේ අද පස්වරු 7.00 ට බවයි මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ රැදී සිටින නෙත් නිවුස් නියෝජිත කමල් සුරවීර පැවසුවේ.
''මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම සඳහා සියලුම කටයුතු මේ වන විට සූදානම් කොට ඇති බව පෙරහැර සංවිධායක මණ්ඩලය සඳහන් කරනවා. අද පස්වරු හතට තමයි මේ සුභ මොහොත උදාවෙන්නේ පෙරහැර වීදි සංචාරය කරන්න. නැගෙනහිර දිශාමුඛව පෙරහැර පිටත්වීමට නියමිතව තිබෙනවා. දළදා වීදියෙන්, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීම තමයි අද සිදුවෙන්නේ. අද පස්වරු වන විට මහනුවර නගර ආශ්‍රිතව යම්කිසි ආකාරයකින් විශේෂ රථ වාහන පාලන වැඩසටහනකුත් යොදලා තියෙන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. මේ පෙරහැර ආරම්භ කිරීමට පැය දෙකකට පමණ පෙර තමයි මං හිතන විදියට මේ ආකාරයෙන් සංවිධානය කරලා තියෙන්නේ. විශේෂයෙන් සඳහන් කරනවා අද දිනයේ විශේෂිත ආරක්ෂිත වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. පොලීසියට අමතරව විශේෂ කාර්ය බලකාය, ඒ වගේම ත්‍රිවිධ හමුදාව මේ ආරක්ෂක කටයුතු සඳහා යම්කිසි ආකාරයකින් සහයෝගය ලබාදීමක් සිද්ධ වෙනවා. ජනතාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සියල්ල මේ වන විට සලසලා තියෙනවා. විශේෂයෙන් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන පවා පෙරහැර නැරඹීම සඳහා පැමිණ සිටින ජනතාවට විවිධ විවිධ කණ්ඩායම් ස්වේච්ඡාවෙන් ලබාදෙනවා. ඒ වගේම පොදු පහසුකම්, සෞඛ්‍ය ආරක්ෂක පහසුකම්, වෛද්‍ය පහසුකම් ලබාදෙනවා. මොකද පෙරහැර නැරඹීම සඳහා ඊයේ රාත්‍රියේ සිටම විශාල වශයෙන් මේ කණ්ඩායම් මෙම පෙරහැර වීදි සංචාරය කරන මාර්ගවල මේ වන විට රැඳිලා ඉන්නවා මහනුවර නගරයේ. විශේෂයෙන් විදේශීය ජනතාවත් විශාල වශයෙන් පෙරහැර නැරඹීම සඳහා පැමිණ තිබෙනවා. මේ ආකාරයෙන් තමයි දෙවන රන්දෝලි පෙරහැරට මහනුවර නගරය සූදානම් වන්නේ.''




