පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.00ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජෙෂ්ඨ නියෝජිතකයකු සදහන් කළේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අල්ලස් කොමිසම විසින් ලිඛිතව දැනුම් දී ඇති බවත්, ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා මෙලෙස අදහස් පළ කළා.
"නාමල් රාජපක්ෂ මැතිතුමා තමයි බිමේ සටනට නායකත්වය දෙන්නේ. අද වෙද්දි රටේ ගොවි ජනතාව පාරට එනකොට, ඒ ගොවි ජනතාවට නාමල් රාජපක්ෂ මැතිතුමා නායකත්වය දෙනකොට, අද නාමල් රාජපක්ෂ මැතිතුමාගේ කැඳවීම්... අපි දකින විදියට හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි, සැප්තැම්බර් 5 වෙනිදා ජනාධිපතිතුමා එතුමාගේ රැස්වීම් මාලාව ගමින් ගමට යන්න ආරම්භ කරනවා. එතුමා ගමට ගිහිල්ලා මොකක්ද කියන්නේ? ඒ කියන්නේ එක පෑන් ඉරෙන් හාල් මාෆියාව නැති කරාද? එහෙම නැත්නම් තෙල්වල රුපියල් 150 අඩු කරාද? එහෙම නැත්නම් විදුලි බිලෙන් තුනෙන් එකක් අඩු කරාද? එහෙම නැත්නම් බෙහෙත් වල තියෙන වැට් එක අයින් කරාද? පොත්පත් වල තියෙන වැට් එක අයින් කරාද? උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය විසඳුවද? එහෙම නැත්නම් තරුණයාගේ ප්‍රශ්න විසඳුවද? එතුමාට කියන්න දෙයක් නෑ. ඒක හින්දා එතුමා බලනවා බිමට නායකත්වය දෙන නාමල් රාජපක්ෂ මැතිතුමාව අල්ලස් කොමිසමට ගෙනැල්ලා අත්අඩංගුවට ගන්න සූදානමක් තියෙනවා කියලා අපිට පේනවා. අනිත් පැත්තෙන් එතුමා බය වෙලා තියෙනවා 12 වෙනිදා 'බිමේ සටන' ආරම්භ වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ... ලංකාවේ විපක්ෂයට, ඒ වගේම ලංකාවේ මේ ආණ්ඩුවෙන් රැවටිච්ච ජනතාව එකතුවෙන තැන බවට සැප්තැම්බර් 12 අනුරාධපුරයේ පත්වෙනවා."

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ ගම් මට්ටමින් ජනතාවගේ ප්‍රශ්න සොයා බලා නාමල් රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් ආණ්ඩුව ඔහුට විවිධ චෝදනා එල්ල කරන බවයි.

"ආණ්ඩුව කොහොමත් වැරදිකරුවා කියලා කියනවනේ. ඉතින් ආණ්ඩුව වැරදිකරුවා කිව්වට මේ අධිකරණ පද්ධතිය ගැන තාමත් ආණ්ඩුවට නැති විශ්වාසයක් අපි ලඟ තියෙනවා. මේ අධිකරණ පද්ධතිය අදටත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අය හැල්ලුවට ලක් කරනවා, 'එදා දුන්න තීන්දු, ඉස්සර දුන්න තීන්දු' කියලා. ඉතින් ඒ නිසා නාමල් රාජපක්ෂ මැතිතුමා ඕනෑම ආයතනයක කැඳවීමක් කරපුවාම එතුමා නිර්භයව ඒවට මුහුණ දීලා, ඒවා ඒ ඒ ආයතන වලට ගිහින් තිබුණා. හැබැයි අපිට කණගාටුයි, මේ ජනතාවගේ ආණ්ඩුවට තියෙන විරෝධය, ජනතාවගේ තියෙන ප්‍රශ්න කතා කරන මෙවැනි අවස්ථාවක ආණ්ඩුව මං හිතන්නේ මේ වගේ උපක්‍රම පාවිච්චි කරනවා. ඉතින් මේවා සාමාන්‍යයි. මේවට අපි බය වෙලා මේවා නවත්තන්නේ නැහැ. අපි ඔය ඕන දෙයකට උත්තර දෙන්න සූදානම්."