නීති විරෝධී ලෙස දේපළ උපයාගත් බවට අත්අඩංගුවට ගත් සැකකාරියක් සහ සැකකරුවෙකු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් එම සැකකරු සහ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී අධිකරණය නියෝග කළේ එම සැකකරු සහ සැකකාරිය ජූලි 11 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවයි පොලීසිය පැවසුවේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුමට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් එම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් දේපළ මිලදීගැනීම හේතුවෙන්.

ඒ අනුව අදාළ ප්‍රදේශයේ පිහිටි සිව්මහල් නිවසක්, බොරැල්ල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවෙස් දෙකක් මෙන්ම තෙමහල් නිවසක් සහ මෝටර් රථ දෙකක් ඔවුන් විසින් මිලදීගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ දේපළ ක්‍රියාවිරහිත කිරීමට කටයුතු කර ඇති බවට පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.