අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම උපදේශක සභාවක් පත්කර තිබෙනවා.

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක් සැක මතු කරමින් සිටියදී මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇත්තේ.

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ඉකුත් පෙබරවාරි මාසයේදී රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් ලෙස මුද්‍රණය කර තිබෙනවා.

එහෙත් මාස අටක් පමණ ගතවනතුරුත් ඒ පිළිබඳ ආණ්ඩුව හෝ වගකිවයුතු වෙනත් කිසිදු පාර්ශ්වයක් ප්‍රමාණවත් කරුණු දැක්වීමක් කළේ නැහැ.

එසේ තිබියදී Neth News YouTube නාලිකාව වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන වයිරල් ටෝක් විශේෂාංගයේදී මෙම පූජා භූමි සංවර්ධන සැලැස්මෙහි ඇතැම් කරුණු සැක සහිත බවට පෙන්වාදීමක් කෙරුණා.

ඒ, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින්.

ගැසට් කෙරුණු පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ වගකිව යුතු  පාර්ශවයන්ගේද නෙත් විවෘත වූයේ ඉන් අනතුරුවයි.

Neth News YouTube නාලිකාව වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන වයිරල් ටෝක් විශේෂාංගයෙන් ආරම්භ කෙරුණු මෙම සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස කරුණු සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකවමද අනුරාධපුරයේ සංචාරය කළා.

සැකසහිත බවට ඉදිරිපත් වන කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් ප්‍රතිචාර දැක්වීම ආරම්භ වූයේද ඉන් පසුවයි.

සැක දුරු කිරීම සඳහා පූජා භූමි සංවර්ධන සැලැස්මේ ඩිජිටල් පිටපතක් සකස් කිරීමටද ආණ්ඩුව තීරණය කළා.

දැන්, අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති උපදේශක සභාවක් පත්කර තිබෙන්නේද එහි ප්‍රතිඵලයක් ලෙසයි.

​අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒකාබද්ධ තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් තුළින් පුරාවිද්‍යාත්මක, ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගනිමින් සංවර්ධන කටයුතු කිරීමට මෙම උපදේශන සභාවට වගකීම් පවරා තිබෙනවා.

එහි සම සභාපතිවරුන් ලෙස ​වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා කටයුතු කරනු ඇති.

​අභයගිරිය චෛත්‍යාරාමාධිකාරී මහාචාර්‌ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමියන්, ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ශාස්ත්‍රපති කහල්ලේ ඥානින්ද හිමියන්, ඉන්දීය මහා බෝධි සමාගමේ හිටපු නියෝජ්‍ය ලේකම් බෝමළුව විහාරවාසී පූජ්‍ය ආචාර්ය කහටගොල්ලෑවේ මේධංකර හිමියන් කමිටුවේ සාමාජිකයන් වනවා.

​බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පූජා භූමි අංශය) සමන්ති නාගස්තැන්න, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) තරනි අනෝජා ගමගේ, යුනෙස්කෝව සඳහා වූ ජාතික කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ, පුරාවිද්‍යා දෙපාර්‌තමේන්තුවේ අධ්‍යක්ෂ (සංරක්ෂණ) ප්‍රසන්න රත්නායක යන මහත්ම මහත්මීන් ද එහි සාමාජිකයන්.

උද්භිද විද්‍යාඥ භාතිය සුමිත්‍රා ආරච්චි, ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උපදේශක, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය ජගත් වීරසිංහ, කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාලිංග අමරසිංහ, ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ සභාපති මහාචාර්ය ආර්. එම්. එම්. චන්ද්‍රරත්න, රජරට විශ්ව විද්‍යාලයේ හිටපු ඉතිහාසඥ මහාචාර්ය ආරිය ලගමුව, කැළණිය විශ්ව විද්‍යාලයේ අස්පර්ශනීය උරුමය පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය බී. ඩී. නන්දදේව, ශ්‍රී ලංකා නගර නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ සභාපති වයි. ඒ. ඩී. කේ. ගුණතිලක, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ සභාපතිනි, වරලත් වාස්තු විද්‍යාඥ දිලුම්මිනි ද මෙල් යන මහත්ම මහත්මීන් ද එහි සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා.

ඊට අමතරව අනුරාධපුර නගරාධිපති, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්, උතුරු මැද පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ පළාත් ඉංජිනේරු, අනුරාධපුර නාගරික කොමසාරිස්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ, උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු, අනුරාධපුර ලංකා විදුලි බෙදාහැරීම් පුද්ගලික සමාගමේ විදුලි ඉංජිනේරු, අනුරාධපුර ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු යන අයද මෙම උපදේශන සභාවේ සාමාජිකයන් වනු ඇති.