අලි ඇතුන් සුරැකීම සහ සෙසු වනසතුන්ට එල්ල වන තර්ජන අවම කිරීමේ අරමුණින් ආරම්භ කළ ‘හස්ති සේනා’ මෙහෙයුම දිනකින් හෝ දෙකකින් අවසන් වන්නක් නොව දිගු කාලීනව ක්‍රියාත්මක වන බව පරිසර අමාත්‍යාංශය පවසනවා.
යුද හමුදා සාමාජිකයන්ගේද සහභාගිත්වයෙන් ඊයේ ආරම්භ වූ මෙම මෙහෙයුම යටතේ මේ වනවිට අලි ඇතුන් සහ සෙසු වනසතුන් දඩයම් කිරිමට යොදාගත් බවට හෝ යොදා ගැනීමට සුදානම් කර තිබූ බවට සැක කරන ගිනි අවි රැසක් සොයාගෙන තිබෙන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
සැකකරුවන් කිහිප දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන පරිසර අමාත්‍යාංශයේ උපදේශක පරිසරවේදි රවීන්ද්‍ර කාරියවසම් මහතා.
"අපි දන්නවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අලියෙතුන් වගේම වනසතුන් ආරක්ෂාව වෙනුවෙන් තිබෙන ආයතනයක්, නමුත් පසුගිය කාලය පුරාවටම මෙන්න දෙපාර්තමේන්තුව විශාල කඩාවැටීම් ප්‍රමාණයකට ලක් වෙලා තිබුණා. මෙහෙයුම් කිරීම පවා දෙපාර්තමේන්තුව පැත්තෙන් ඉතා දුර්වල මට්ටමක තිබුණේ. ඉතින් අපි මේකට හයියක් වෙමින් 212 බලසේනාංකයේ යුධ හමුදාව ඒ වගේම හමුදාපති මෙතුමා ඊයේ දවසේදී කලා වැවේ මෙම මෙහෙයුම නිල වශයෙන් ආරම්භ කරා. අපි බලාපොරොත්තු වෙන විදිහටම අපි අඳුනාගත්ත ප්‍රදේශ ගණනාවක් තියෙනවා විශේෂයෙන්ම දළ ඇතුන් 17 දෙනෙක් සැරිසරන, ඒ වගේම ඒ 17 දෙනා සැරිසරන ප්‍රදේශ ලංකාවේ අලියෙතුන් ජීවත් වන ප්‍රදේශ වලින් 80%ක ප්‍රමාණයක් කවර් වෙනවා. ඒ වගේම තමයි ඉතුරු 20% අපි මේ මෙහෙයුම මඟින් සාර්ථකව ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි අර එක පාරක් කරලා නවත්තන විදිහට නෙමෙයි, අපි මේක බලාපොරොත්තු වෙන්නේ දීර්ඝකාලීනව සෑම සති කිහිපයකටම සැරයක් බුද්ධි තොරතුරු පදනම් කරගෙන මෙම මෙහෙයුම කරන්න."
ශ්‍රී ලංකාවට වටිනා සම්පතක්ද වන, අලි ඇතුන් තර්ජනයට ලක්ව සිටින බව නෙත් නිවුස් අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා.
ඒ අනුව තර්ජනයට ලක්ව සිටින අලි ඇතුන් ආරක්ෂා කිරිම සදහා විද්‍යාත්මක වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි නෙත් නිවුස් දිගින් දිගටම අවධාරණය කළේ.
ඉකුත්දා මියගිය කාවන්තිස්ස ඇතාද එලෙස තර්ජනයට ලක්ව සිටි අයෙක්. එම සත්වයාට විශේෂ ආරක්ෂාවක් ලබාදිය යුතු බව පාර්ශව කිහිපයක් කලක සිට පෙන්වා දී තිබුණා.
එහෙත් ඒ සදහා යහපත් ප්‍රතිචාර ලැබී තිබුණේ නැහැ.
කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසු නෙත් නිවුස් අවධාරණය කළේ සෙසු අලි ඇතුන් රැක ගැනීමට හෝ විද්‍යාත්මක වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කළ යුතු බවයි.
අලි ඇතුන්ගේ ආරක්ෂාවට හමුදා හෝ පුහුණුව ලත් වෙනත් කණ්ඩායම් යෙදවිය හැකි බව විදේශ උදාහරණද ගෙන හැර දක්වමින් නෙත් නිවුස් පෙන්වා දුන්නා.
ඒ වනවිට අතුරුදන්ව සිටි අග්බෝ ඇතා සෙවීම සදහා හමුදා කණ්ඩායමක් අනියුක්ත කෙරුණේද ඒ අනුවයි.
දිගින් දිගටම කළ අනාවරණ සහ මෙම පෙන්වා දීම් වෙනුවෙන් නෙත් නිවුස් වෙත ද ස්තුතිය පළ කරන බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවා.
"සැකවින් මේ මෙහෙයුමේදී සිද්ධ වෙන්නේ, දැනට තියෙන අනවසර ගිනි අවි, ඒ වගේම තමා භාවිතා කළාය කියලා විශ්වාස කරන, ඒවට සාක්ෂි තියෙන ගිනි අවි, ලයිසන් තිබුණත්, ඊළඟට හක්ක පටස්, මදු දැල්, බඳින තුවක්කු. මෙන්න මේවා කැලේ පුරාම අපි සුද්ධ කරනවා. ඒවා අයින් කරන ඒවාත්, මේ වගේ විශේෂයෙන්ම බුද්ධි තොරතුරු වෙන ඒ තොරතුරු අනුව අදාළ නිවාස තියෙනවා නම් ඒවා වැටලීම් කරන ඒවාත්, අත්අඩංගුවට ගැනීම සහ වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව නීතිය ක්‍රියාත්මක කිරීම තමයි සිද්ධ වෙන්නේ. මට මතකයි ඔබ ආයතනයත්, නෙත් එෆ් එම් රේඩියෝවත් දිගින් දිගටම, දිගින් දිගටම මේ අවශ්‍යතාවය මතු කරා. ඒක අද ඊයේ නෙමෙයි අවුරුදු ගණනාවක් තිස්සේ. ඉතින් ඔබටත් ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මේ අවශ්‍යතාවය දිගින් දිගටම මතු කරලා වගකිය යුතු මාධ්‍යයක් විදිහට ඔබ කරන කාර්යභාරයත් ඉතා අගය කරනවා. මොකද ජනතාවට හරි පණිවිඩය ගෙනියන එක ඉතාම වැදගත් මේ මොහොතේ."
මේ අතර ඊයේ ආරම්භ කෙරුණු හස්ති සේනා මෙහෙයුමේදී අනවසර ගිනි අවි, බඳින තුවක්කු, වෙනස්කම් කරන ලද බලපත්‍ර සහිත ගිනි අවියක්, හක්කපටස්, මදු, මුව අං ඇතුළු සත්ව කොටස් සහ දඩමස් තොගයක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
මෙම නඩු භාණ්ඩ සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පරිසර අමාත්‍යාංශය පැවසුවේ.



