ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය කඩිනමින් පුරවැසියන්ට ලබා දීමට පකිස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඒ එරට ඉන්ධන මිල වහාම අඩු කරමින්.

විදෙස් මාධ්‍ය පවසන පරිදි පකිස්ථානය පෙට්‍රල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 299ක් දක්වා රුපියල් 74කින් අඩු කර තිබෙනවා.

ඩීසල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 311ක් දක්වා රුපියල් 67කින් අඩු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වූ ඉරාන අමෙරිකා යුද ගැටුම් සමග ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිල ඉහල දැමුනා.

ඒ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින්.

පකිස්ථානය ද ඒ අනුව ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස වැඩි කළා.

කෙසේ වෙතත් ගැටුම් අවසන් කිරීමට ඇමරිකාව සහ ඉරානය එකඟ වීමත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ යමිනුයි තිබෙන්නේ.

එහි වාසිය කල් නොයවා පුරවැසියන්ට ලබා දිය යුතු බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් පවසනවා.

ඒ අනුවයි ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඉහළ යන විට ඉහළ දැමුණු ඉන්ධන මිල දැන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යන විට වහාම අඩු කිරීමට පකිස්ථාන රජය පියවර ගෙන ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩුවන්නේ කවදාද? මාධ්‍යවේදීන් අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ලෝක වෙළඳපලේ අඩු වූ මිල දිගටම පැවතුණහොත් ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් පමණ වන විට එහි සහනය පුරවැසියන්ට ලබාදීමට හැකි වනු ඇති බවයි.

ලෝක වෙළඳපළේ බ්‍රේන්ට් වර්ගයේ බොර තෙල් මිල බැරලයක් අමෙරිකානු ඩොලර් 80 සත 57ක් ලෙසත්, WTI වර්ගයේ බොරතෙල් මිල බැරලයක් ඇමෙරිකානු ඩොලර් 76යි සත 56ක් ලෙසත් මේ වන විට සටහන් වනවා.