පයාගල, කොස්හේන ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදු කළ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, යටදොළ වත්ත, ඇළදූව දෙමළ විද්‍යාලය ආසන්නයේ රබර් වත්තක දමාගොස් තිබියදීයි.

එම යතුරු පැදිය සම්පුර්ණයෙන්ම ගිනි ගැනීමකට ලක්ව තිබූ බවයි පොලීසිය පැවසුවේ.

පෙට්‍රල් රැගෙන ආ බවට සැක කෙරෙන බෝතලයක් සහ ගිනි පෙට්ටියක්ද ඒ ආසන්නයේ තිබී සොයාගෙන තිබෙනවා.

පයාගල, කොස්හේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිදුවූ අදාළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජිවිතක්‍ෂයට පත්වුණා.

පානදුර කුඩු සළිදු සහ පානදුර කුඩු නිලංග ගේ පාතාල කල්ලි දෙක අතර පවතින ගැටුමක් හේතුවෙන් එම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා පානදුර, වදුරම්මුල්ල සුසාන භූමියේදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු බවත්, ඔහු පානදුර කුඩු නිලංග ගේ පාර්ශවයේ අයෙක්.

ඔහු බන්ධනාගාර ගතව සිට මෑතකදී ඇප මත මුදාහැර ඇති අයෙකු බවයි පොලීසිය පැවසුවේ.

ඊයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් තවදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා.