ජපානයේ ඊසානදිග මුහුදු තීරයේ රික්ටර් මාපකයේ ඒකක 7යි දශම4 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් එරට උතුරු සහ ඊසානදිග මුහුදු තීරයට මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම භූ කම්පනයේ කේන්ද්‍රය ජපානයේ ඉවාටේ ප්‍රාන්තයට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයේ, කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් සටහන් වී තිබෙනවා.
ඒ අනුව ඉවාටේ, අඔමොරි සහ හොකයිඩෝ යන ප්‍රාන්තවල වෙරළ තීරයට මීටර් 3 ක් පමණ උස සුනාමි රළ පැමිණිය හැකි බවටයි එරට බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.
මේ හේතුවෙන් වෙරළාසන්නයේ සහ ගංගා මෝයවල් අසල සිටින ජනතාවට වහාම ආරක්ෂිත උස් බිම් කරා ඉවත් වන ලෙසට ජපාන රජය නියෝග කර තිබෙනවා.
භූ කම්පනය කොතරම් ප්‍රබලද යත්, එරට අගනුවර වන ටෝකියෝ නගරයේ ගොඩනැගිලි පවා සෙලවී ඇති බවයි වාර්තා වන්නේ.
මේ දක්වා ජීවිත හානි පිළිබඳ නිල වාර්තා ලැබී නොමැති අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් විශේෂ හදිසි කළමනාකරණ මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර තිබෙනවා.
මේ අතර එම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සදහන් කළා.



