Published
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත එරෙහිව ගොනු කර තිබූ පෙත්සම වල විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය ඉදිරියේ දී කතානායක වරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.
මෙම පෙත්සම් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගනු ලැබූවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මානගේ ප්‍රේමසිරි, නවරත්න බණ්ඩාර, දීපාල් ගුණසේකර, සමන්සිරි හේරත් සහ අචල ජාගොඩ ඇතුළු පිරිසක් විසින් අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් හතරක් ඉදිරිපත් කර තිබුණා.
මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල පනත් කෙටුම්පත තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට යෝජනා කර ඇති බවත් මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව මෙන්ම බොහෝ යුරෝපීය රටවල්වල ක්‍රියාත්මක වන බව පෙන්වා දුන්නා.
ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මාසිකව රුපියල් 31000 ක විශ්‍රාම වැටුපක් ලැබෙන බවත් විධායක , අධිකරණය සහ ව්‍යවස්ථාදායකය යන ත්‍රිත්වයේ සාමාජිකයන්ට විශ්‍රාම වැටුප් හිමි වන අතර එය නීතිමය වශයෙන් සහතික කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.
ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසර තිහ හතලිහ එක දිගටම සේවය කර විශ්‍රාම ගන්නා බවත් එසේ ජීවිතයේ සැඳෑ සමය ගත කරන මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කළහොත් එම මන්ත්‍රීවරු පමණක් නොව ඔවුන්ගේ වැන්දඹුවන්ද දැඩි අපහසුතාවයකට පත්වනු ඇති බවත් ඔහු කියා සිටියා.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 ,4, 10 ,11 සහ 12 යන ව්‍යවස්ථාවන් උල්ලංඝනය වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින්ද එය අනුමත වියයුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවවේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරයා , ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණය විනිසුරුවරුන්ට පමණක් විශ්‍රාම වැටුප් අයිතිය තහවුරු කර ඇතැයි සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එවැනි ව්‍යවස්ථාපිත රැකවරණයක් ලබාදී නොමැති බවත් ඇය කියා සිටියාය.
පසුගිය මාස තුනේදී පමණක් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මිලියන සීයක විශ්‍රාම වැටුප් ගෙවා තිබෙන බවත්
මෙම තත්ත්වය එන්න එන්න වැඩි වෙමින් පවතින බවත් ඇය සඳහන් කළාය.
වත්මන් රජය බලයට පත්වූයේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට පියවර ගන්නා බවට ජනතාවට පොරොන්දු වෙමින් බවත් එම පොරොන්දුව ඉටු කිරීම සඳහා මහජනයා රජයට ජනවරමක් ලබා දුන් බවත් ඇය කියා සිටියා.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් මෙම පනත සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් ඇය සඳහන් කළා.
මෙම පනත් කෙටුම්පත තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවත් දාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් කිසිදු සාමාන්‍ය වැසියෙකු. අධිකරණය හමුවට පැමිණ නොමැති බවත් පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ඒ අනුව අදාල පනත් කෙටුම්පත සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවත් කියා සිටියා.
සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලි පුද්ගල විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කළා.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පති නීත්‍යානුකූලව භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ඉදිරියේදී කතාකනායකවරයා වෙත යොමු කරන බවත් විනිසුරු මඩුල්ල අවසානයේදී නිවේදනය කලා.



