පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන තොරතුරු දැන සිටි බව තමන් විශ්වාස කරන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් සඳහන් කළා.
ඊට අමතරව නිලන්ත ජයවර්ධන මහතාද තොරතුරු දැන සිටි බවත් එම තොරතුරු සැඟවීමට ඔහු කටයුතු කළ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා
”ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම සන්නද්ධ හමුදාවල ප්‍රධානියා වූ ජනාධිපති රටින් පැන්නා. ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වීමේ පවට මම මේ නඩුවට පැටලුනා. මා ඉදිරිපත් කරන තොරතුරු හරියට අධ්‍යයනය කළා නම් මේ නඩුව මට පවරන්නේ නෑ. වගකිව යුත්තන් තවම නිදැල්ලේ සිටිනවා.” යනුවෙන් ඔහු ් පැවසුවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබු නඩුවක් ඊයේ (29) කැඳවූ අවස්ථාවේදී විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කරමින් හේමසිරි ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළා.
මෙම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වනවා.
සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ,
අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර එම තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම හේතුවෙන් රට තුළ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වූ බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගයකට අනුව රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධුරයට පත් කරනු ලැබුවද එම ව්‍යාකූල තත්ත්වය නොකඩවා පැවැති බවයි.
ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා ප්‍රධාන ආරක්ෂක රැස්වීම් දෙකක් පවතින බවත් ජාතික ආරක්ෂක කවුන්සිලය සහ බුද්ධි සමාලෝචන රැස්වීම ඒ අතර ප්‍රධාන වන බවත් ඔහු සඳහන් කළා.
ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර එම වකවානුවේ මතු වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එම රැස්වීම්වලට සහභාගි වීම අගමැතිවරයාට, නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට සහ පොලිස්පතිවරයාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් කර තිබූ බව හේමසිරි ප්‍රනාන්දු මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.
තමා මේ පිළිබඳව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විමසූ බවත් ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා ”ඕකුන් එකෙක් එක්ක මට වැඩ කරන්න බෑ.
ඕකුන් එකෙක්වත් ගන්න එපා” යනුවෙන් සඳහන් කර තිබූ බවත් ඔහු කියා සිටියා.
ජාතික ආරක්ෂක කවන්සිලයේත් බුද්ධි සමාලෝචන රැස්වීමේත් ප්‍රධාන ස්ථානයක් රාජ්‍ය බුද්ධ සේවයේ එවක ප්‍රධානි නිලන්ත ජයවර්ධනට හිමිවු බව සඳහන් කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඔහු ජනාධිපති සිරිසේන සමග වසර හතරක් පමණ ඉතාම සමීපතව කටයුතු කළ බව සඳහන් කළා.
නිලන්ත ජයවර්ධන සෘජුවම ජනාධිපති සිරිසේනට තොරතුරු ලබාදුන් අතර ජනාධිපතිවරයාගේ පුද්ගලික රහස්‍ය දුරකථන අංක පවා ඔහුට ලබා දී තිබු බව ප්‍රකාශ කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා සතුව පවා එම දුරකථන අංකය නොතිබූ බවත් පැවසුවා.
ඔවුන් දෙදෙනා අතර පැවැති සම්බන්ධය ”පිය පුතු සම්බන්ධයක්” ලෙස බොහෝ නිලධාරීන් හැඳින්වූ බව කියා සිටි හේමසිරි ප්‍රනාන්දු මහතා බුද්ධි සමාලෝචන රැස්වීමේ පළමු වන ඉදිරිපත් කිරීම රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා වන නිලන්ත ජයවර්ධන විසින් සිදු කිරීම සාමාන්‍යයෙන් සිදුවන බවත් සඳහන් කළා.
ජනාධිපති සිරිසේන සමග කටයුතු කරගෙන යාමේදී ඇති වූ අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් තමා ආරක්ෂක ලේකම් ධූරයෙන් අප්‍රේල් මස අග භාගයේ ඉල්ලා අස්වීමට තමන් තීරණය කර සිටි බවත් ඒ පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා සිටි අවස්ථාවේදී ඔහු එලෙස නොකරන ලෙස තමාට දැනුම් දුන් බවත් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවා.
වැඩිදුරටත් සිය ප්‍රකාශය ඉදිරිපත් කළ හේමසිරි ප්‍රනාන්දු මහතා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා සතියකට වරක් බුද්ධි වාර්තාවක් ලබා දෙන බවත් බුද්ධි වාර්තාවක් ඉදිරිපත් කිරීමේදී සාමාන්‍යයෙන් විශ්ලේෂණය කළ යුතු වුවද එසේ නොකළ නිසා ඔහු විසින් ඉදිරිපත් කළ වාර්තාවන් බුද්ධි වාර්තාවන් ලෙස තමා නොසැලකූ බවත් ඔහු සඳහන් කළා.
2019 වසරේ අප්‍රේල් මස 4 වනදා නිලන්ත ජයවර්ධන මහතාට විදේශයකින් ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ලැබී තිබුණු බවත් අප්‍රේල් 8 වනදා නිලන්ත ජයවර්ධන විසින් එවන ලද බුද්ධි වාර්තාවේ ඒ බවක් සඳහන් කර නොතිබූ බව කියා සිටි හේමසිරි ප්‍රනාන්දු මහතා ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී නිලන්ත ජයවර්ධන එම තොරතුරු යටපත් කිරීමට උත්සාහ කළ බව තමන්ට පෙනී ගිය බවත් පැවසුවා.
ඒ පිළිබඳව තමන් කළ කරුණු විමසීමකදී ”තහවුරු නොකළ තොරතුරක් ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට තමන්ට නොහැකි බව” නිලන්ත ජයවර්ධන මහතා විසින් ප්‍රකාශ කළ බව කී හේමසිරි ප්‍රනාන්දු මහතා අදාළ සිදුවීම් සම්බන්ධයෙන් තමන්ට වැඩිදුර වාර්තා ලබාදෙන බව නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළත් එවැනි වාර්තාවක් කිසිදු අවස්ථාවක තමන්ට නොලැබුණු බව කියා සිටියේය.
වැඩිදුරටත් සිය ප්‍රකාශය ඉදිරිපත් කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර කාත්තන්කුඩි ප්‍රදේශයේ මෝටර් සයිකලයක් පිපිරීමට ලක්වු අතර ඒ පිළිබඳව නිලන්ත ජයවර්ධන මහතා විසින් පොලිස්පතිවරයාට රහසිගත වාර්තාවක් ලබා දී තිබූ බව පැවසුවා.
එහෙත් එම වාර්තාවේ පිටපතක් තමාට ලබා නොදුන් බව කී හිටපු ආරක්ෂක ලේකම්වරයා අප්‍රේල් මස 20 වනදා සවස නිලන්ත ජයවර්ධන තමන්ට කතා කර ” වට්ස්අප් මැසේජ් එකක් එව්වා කියෙව්වද” කියා ඇසූ බවත් සඳහන් කළා.
ඒ අවස්ථාවේ තමන් අසනීපව සිටි බව කී හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන් එම වට්ස්ඇප් පණිවිඩය කියැවූ බවත් එහි මරාගෙන මැරෙන ප්‍රහාර අටක් ගැන තොරතුරු ලැබී තිබෙන බව සඳහන්ව තිබූ අතර ඉන්දියානුවන් වැඩිපුර ගැවසෙන හෝටලයක් සහ දේවස්ථාන කීපයක් එහි සඳහන්ව තිබූ බවත් පැවසුවා.
මෙම තොරතුරුවල විශ්වාසනීයත්වය පිළිබඳව තමා නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසූ බවත් එම අවස්ථාවේදී අදාළ තොරතුරු වල මූලාශ්‍ර තමන්ට විශ්වාස බව නිලන්ත ජයවර්ධන මහතා කී බවත් ඔහු සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් ගත් පියවර ගැන විමසීමේදී නිලන්ත ජයවර්ධන මහතා තොරතුරු ලැබුණු පසුව කතා කරන බව ප්‍රකාශ කළත් 21 වනදා උදෑසන වන තෙක් කතා නොකළ බව කී ඔහු එදින උදෑසන 8.00 පමණ කතා කර මෙතෝදිස්ත පල්ලිය තිබෙන්නේ කොහේදැයි විමසූ බවත් සඳහන් කළා.
පිපිරීම් සිදුවීමට නියමිත ස්ථානවලට මෙතෝදිස්ත පල්ලියක් ද ඇතුළත් බව නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළ බවත් එසේ ප්‍රකාශ කර විනාඩි පහක් දහයක් පමණ ගත වූ පසු බෝම්බ පිපිරීම් සිදුවී ඇති බව වාර්තා වූ බවත් ඔහු සඳහන් කළා.
ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා සිංගප්පූරුවට ගොස් සිට බවත් ඔහු තමන් අමතමින්” අගමැතිවරයා රැස්වීමක් කැඳවලා තියෙනවා. ඒකට යනවා එහෙම නෙවෙයි” යනුවෙන් පැවසූ බවත් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය විත්තිවාචකයෙන් කියා සිටියා.
විදේශගතව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ලංකාවට පැමිණියේ සිංගප්පූරුවේ සිට පැමිණෙන ගුවන් ගමන් හතරක් මග හැර බවත් පසු දින ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවීමට පියවර ගන්නා ලෙස තමාට උපදෙස් ලැබුණු බව කී හේමසිරි ප්‍රනාන්දු මහතා එම රැස්වීමට ඇතුළුවන අවස්ථාවේදීම ජනාධිපතිවරයා තමාට සහ පොලිස්පතිවරයාට දෝෂාරෝපණ එල්ල කළ බවත් පැවසුවා.
එදින රාත්‍රී ජාතිය ඇමතු ජනාධිපතිවරයා බරපතල ප්‍රකාශයක් සිදුකළ බවත් " මේකට වගකියන්න ඕනේ පොලිස්පති සහ ආරක්ෂක ලේකම්" යනුවෙන් සඳහන් කළ බව කී හිටපු ආරක්ෂක ලේකම්වරයා විසි එක් වනදා ප්‍රහාරය ගැන තමා බීබීසී වාර්තාකරුවකුට පැවසූ දේ ජනමාධ්‍ය විසින් විකෘති කර පළ කර තිබූ බවත් සඳහන් කළා.
එම ප්‍රකාශයේදී තමා ප්‍රහාරය ගැන දැන සිටි බව කීවේ නිලන්ත ජයවර්ධන මහතා ලබාදුන් තොරතුරු ගැන පමණක් බවත් ඊට අමතරව තමන් වෙනත් කිසිදු තොරතුරක් දැන නොසිටි බවත් ඔහු පෙන්වා දුන්නා.
මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ජාතික ආරක්ෂාව පැවරී ඇත්තේ රාජ්‍ය නායකයා වෙත බවත් ජනාධිපතිවරයා විදේශගත වූ අවස්ථාවේ වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් නොකළ බව කියා සිටි හේමසිරි ප්‍රනාන්දු මහතා එවැනි අවස්ථාවක ආරක්ෂක ලේකම්වරයා අක්‍රියවන බවත් සඳහන් කළේය.
මෙම ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැන සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ නිලන්ත ජයවර්ධන පමණක් යැයි තමන් විශ්වාස කරන බවත් තමන් කිසිදු තොරතුරක් දැන නොසිටි බව කී හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක කවුන්සිල රැස්වීම් වලදී ආරක්ෂක ලේකම්වරයාට කිසිදු වාර්තාවක් එවා නොතිබූ බවත් ආරක්ෂක ලේකම්වරයා අඳුරේ සිටි බවත් පැවසුවා.
මෙම තමා ඉදිරිපත් කරන මෙම කරුණු කෙරෙහි සැලකිල්ල යොමු කළේ නම් නීතිපතිවරයා විසින් තමාට එරෙහිව නඩු නොපවරණු ඇති බවත් හේමසිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියා.
මෙහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරාල මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා.




