පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු ‘ඕළු මරා‘ නමැති ප්‍රබල අපරාධකරු  ලුණුවිල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලුණුවිල - කිරිමැටියාන වත්ත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු, ලුණුවිල පොලිස් ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ නොසන්සුන්කාරී ලෙස හැසිරීමෙන් පසුවයි.

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යතුරුපැදිකරුවෙකු පරීක්ෂා කර අත්අඩංගුවට ගැනීමට යාමේදී, එම පුද්ගලයා සහ ‘ඕළු මරා‘ නමැති සැකකරු එක්ව පොලිස් භාරයට ගත් ජංගම දුරකථනයක් පිහියක් පෙන්වා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබෙනවා.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලුණුවිල පොලිස් ස්ථානාධිපතිවරයා කරුණු විමසමින් සිටියදී සැකකරු පොලීසිය අසලට පැමිණ ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී ආසන්න වෙළඳසැලක වීදුරු කඩාගෙන ඇතුළට පැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සිදුවූ තුවාල හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ලුණුවිල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.