නායිකා චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්, බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවන එක්දින තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද සමත් වුණා.

මේ ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැත්වෙන තරඟ 3කින් යුත් එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්ත්වයට පත්ව තිබෙනවා.

රාජ්ෂාහි නුවර පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට              ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් එල්ල වූයේ දැඩි පීඩනයක්.

එහිදී පන්දු වාර 45යි පන්දු 5කදී සියලු දෙනා දැවී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 165ක් පමණයි.
ආබාධයක් හේතුවෙන් පළමු තරඟයට ක්‍රීඩා නොකළ නායිකා චමරි අතපත්තු, මෙම තරඟයේදී පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද අතිවිශිෂ්ට දස්කම් දැක්වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේදී චමරි ලකුණු 27කට කඩුලු 3ක් බිඳ දවා ගනිමින් බංග්ලාදේශ ඉනිම අඩපණ කළා.
ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ කඩුලු කිහිපයක් ඉක්මනින් දැවී ගියත්, චමරි අතපත්තු වේගවත් ලකුණු 40ක් රැස් කරමින් ජයග්‍රහණයට පදනම දමනු ලැබුවා.

එහිදී චමරි දැවී ගිය අවස්ථාවේදී බංග්ලාදේශ පන්දු යවන ක්‍රීඩිකා නහිඩා අක්තර් සහ චමරි අතර යම් උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවූ බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.
පසුව හර්ෂිතා සමරවික්‍රම සහ හංසිමා කරුණාරත්න සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 79ක වටිනා සබඳතාවයක් ගොඩනැගුවා.

හර්ෂිතා ලකුණු 50ක් ලබාගත් අතර හංසිමා ලකුණු 40ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
අවසානයේ පන්දු වාර 39යි පන්දු 4කදී කඩුලු 6ක් පමණක් දැවී ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

තරඟාවලියේ ජයග්‍රාහකයන් තීරණය කෙරෙන තීරණාත්මක තෙවන සහ අවසන් එක්දින තරඟය එළඹෙන අප්‍රේල් 25 වනදා මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි.