රට තුළ පවතින බදු බර මෙන්ම වැට් බදුවල ඇති නුසුදුසුභාවය පිළිබඳ රජයට මනා අවබෝධයක් පවතින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

අද වන විට බදු ගෙවන පිරිසට වඩා බදු නොගෙවන පිරිස වැඩි බවත්, ඒ සඳහා මුදල් අමාත්‍යාංශය මගින් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
"බදු වල තියෙන බරබවය විශේෂයෙන්ම වැට් බද්දේ තියෙන නුසුදුසු බවය පිළිබඳ අපිට හොඳට අවබෝධයක් තියෙනවා. ඔබ දන්නවා අපේ රටේ බදු නොගෙවන පිරිස වැඩියි, බදු ගෙවන ඔබලාට වඩා. ඉතින් ඒ සඳහා දැවැන්ත මෙහෙයුමක් මේ වෙනකොට මුදල් අමාත්‍යාංශය කරන් යනවා. ඉතින් සමස්තයක් විදිහට තව 25%ක් දෙනා බදු නොගෙවන අය අපිට මේ බදු ක්‍රමයට එකතු කරගන්න පුළුවන් වුණොත්, අපිට පුළුවන් වෙනවා කෙමින් කෙමින් වැට් බද්ද පහලට ගේන්න. ඒ වගේම මීට කලින් තිබ්බ SME සෙක්ටර් එකට තිබ්බ අඩු බදු ප්‍රතිශත ළඟා කරගන්න. ඉතින් මේක රටක් විදිහට කරන්න ඕන වැඩක්. රට ස්ථාවර විදිහට ගෙනියන්නත් ඕන. ඒ අතරේ කර්මාන්ත ටික අපි සහාය දෙන්නත් ඕන. ඉතින් අපි මේ කරදිය වලල්ලෙන් එහාට හිතන්න පටන් ගන්න. ඒකට මහන්සි වෙන්න වෙනවා. ඒකට රටක් විදිහට මහන්සි වෙන්න වෙනවා. ඒකට අවශ්‍ය කරන සහය කර්මාන්ත අමාත්‍යාංශයත්, විදේශ අමාත්‍යාංශයත් එකතු වෙලා ඔබලාට ලබාදෙන්න සූදානම්. ඉතින් ඒ සඳහා අපි එකට ගමනක් යමු. අපිට යන්න තියෙන ගමන ගොඩාක් දුරයි. රටක් විදිහට අපි තාම පොඩියි. නමුත් අපේ හදවත සහ ශක්තිය ඔබලගේ දරාගැනීමේ හැකියාව මහා මෙරක් වගේ ලොකුයි කියන විශ්වාසය අපිට තියෙනවා."