ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන්  පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කළ්‍යාණ වංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් වල නියෝගය මේ මස 30 වන දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය  නියෝග කළේය.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන්  විසින් ඉදිරිපත් කළ  පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
මේ පෙත්සම් වලට අදාල ලිඛිත දේශන තිබේ නම් ඒවා  මේ මස 27 වන දා ගොනු කරන ලෙසත් අධිකරණය විසින් පාර්ශව දරුවන්ට නියෝග කළා
මෙම පෙත්සම පෙරේදා කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය විසින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝගයක් නිකුත් කරමින් පෙත්සම්කාර  හිමිවරු රිමාන්ඩ් භාරයට පත් කරමින් ඉකුත් 14 වනදා සහ 19 වනදා මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ නියෝග වලට අදාළ කාර්ය සටහන් වල සහතික පිටපතක් ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කර තිබුණි.
එහෙත් අද නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙත්සම්කාර හිමිවරු රිමාන්ඩ් භාරයට පත් කළ ජනවාරි මස 14 වනදාට අදාල නියෝගයේ පිටපතක් එවා තිබුණද 19 වනදා නියෝගයේ පිටපතක් අධිකරණයට එවා නොමැති බවයි.
පසුව විනිසුරු මඬුල්ල විසින් අභියාචනාධිකරණයේ රෙජිස්ටර්වරයාද විවෘත අධිකරණයට කැඳවා මේ පිළිබඳව විමසුවා.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය ඉතා සැක කටයුතු තත්ත්වයක් බව සඳහන් කළා.
අධිකරණයට ඉදිරිපත් කර තිබෙන සහතික පිටපතේ එක් කොටසක් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සෑම අධිකරණයකම අධිකරණ කටයුතුවලට අදාළ හඬපට පවතින බවත් ඒ අනුව පසුගිය 19 වනදාට අදාල  අධිකරණයේ නඩුව විමසීම් වලට අදාල හඬ පටය කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.
ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගිය 19 වනදාට අදාල  නියෝගයේ පිටපතක් සහ අදාල හඬ පටය නොපමාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙනා ලෙසයි.
ඉන් පසුව අදාල නඩුකර 1.30 ට කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබුවා.
ඉන් අනතුරුව පෙත්සම් කැපවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනතාව විසින් අදාළ ප්‍රදේශයේ බුදු පිළිම වහන්සේ තැන්පත් කළ අවස්ථාවේදී ප්‍රදේශයේ කිසිදු මහජන නොසන්සුන්තාවයක් නොතිබූ බව සඳහන් කළා.
එහෙත් මෙම ක්‍රියාව තුළින් ආගම්වාදී සහ ජාතිවාදී ගැටුම් ඇතිවිය හැකි බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් කරමින් පොලීසිය ඉතා අත්තනෝමතික ලෙස බුදු පිළිම වහන්සේ පොලීසිය වෙත රැගෙන ගිය බවත් ඔහු කියා සිටියා.
මෙම සිද්ධියේ දී පොලීසිය විසින් මුතු කුඩය දෙකට කඩා භික්ෂූන් වහන්සේට පහර දී තිබූ බවත් මේ හේතුවෙන් පිරිසක් තුවාල ලැබූ බවත් ඔහු චෝදනා කළා.
බුදු පිළිමයක් තැන්පත් කිරීම අපරාධ ක්‍රියාවක් ලෙස පොලිසිය විසින් පෙත්සම්කරුවන්ට ඇප ලබා ගැනීමට නොහැකි වන පරිදි වෙරළ සංරක්ෂණ පනත යටතේ අධිකරණයට කරුණු වාර්තා කළ බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු දහම පැවැතීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙන බව චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා මේ හරහා බෞද්ධයන් බිය ගැන්වීමට උත්සාහ කර තිබෙන බවත් සඳහන් කර සිටියා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාව යටතේ බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කිරීමට රජය බැඳී සිටින බවත් එසේ තිබියදී පොලිසියේ මෙම ක්‍රියා කලාපය ලැජ්ජා සහගතය බවත් ඔහු චෝදනා කළා.
මිනින්දෝරු වාර්තා ලබා ගැනීමකින් තොරව සහ නිසි විමර්ශනයකින් තොරව සිය සේවා දායකයින්ට එරෙහි නඩු පැවරීමට පොලීසිය ගත් ක්‍රියා මාර්ගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා.
ඉන් අනතුරුව වග උත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා කරුණු ඉදිරිපත් කළේය.
ඔහු සඳහන් කළේ පෙත්සම්කරුවන්ට මහාධිකරණය හමුවට ගොස් ආකාර දෙකකින් සහන පැතීමට නීතිමය ප්‍රතිපාදන තිබියදී අභියාචනාධිකරණය හමුවට පැමිණිමට හැකියාවක් නොමැති බවයි.
පෙත්සම්කරුවන්ට අවශ්‍ය නම් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරිමට හැකියාව තිබේ.
ඊට අමතරව වෙරළ සංරක්ෂණ පනතේ විධිවිධාන ප්‍රකාරව මහාධිකරණය වෙත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කිරිමට හැකියාව තිබේ.
එම නීතිමය ප්‍රතිපාදන අනුගමනය නොකර එක්වරම අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කිරිමට හැකියාවක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා තර්ක කළා.
සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව එහි නියෝගය ලබන 30 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා.