බුද්ධ ශාසනයේ වැදගත්ම සන්ධිස්ථානයක් සනිටුහන් කළ උතුම් බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

ශාසන ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන්ට බුද්ධ ශාසනය තුළ පැවිදි බව ලැබීමට අවස්ථාව හිමිවූයේ අද වැනි උතුම් බිනර පෝය දිනකයි.

මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පංචශතයක් ක්ෂත්‍රිය කාන්තාවන් සිවුරු දරාගෙන, පා ගමනින් වැඩම කරමින් කළ අති මහත් කැපකිරීම් සමූහයක ප්‍රතිඵලයක් ලෙස, ආනන්ද හිමියන්ගේ ද මැදිහත්වීම මත බුදුරජාණන් වහන්සේ අෂ්ට ගරුධර්ම පනවා භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට අවසර ලබා දුන්නේ අද වැනි දිනකයි.

ඒ අනුව ලොව ප්‍රථම භික්ෂුණිය ලෙස මහා ප්‍රජාපතී ගෝතමී මෙහෙණින් වහන්සේ පැවිදි බව ලැබුවා.

මේ අතර, පෙරවස් සමාදන් වූ මහා සංඝරත්නය, සිය වස් කාලයේ දෙවන මාසය ගෙවා දමමින්, ඉදිරියට පැමිණෙන මහ පින්කම වන කඨින චීවර පූජාව සඳහා සූදානම් වන්නේ ද මෙම බිනර මාසය තුළයි.

මෙවන් අති පූජනීය ශාසනික සිදුවීම් රැසක් සිහිපත් කරමින් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල අද දිනයේදී ආගමික වැඩසටහන්, සීල සමාදාන සහ බෝධි පූජා පින්කම් රැසක් පැවැත්වෙනවා.

මේ අතර, අද දිනට යෙදෙන බිනර පුර පසළොස්වක පොහොය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා වැඩසටහන ගම්පහ, උඩුගම්පල, පෙතියාගොඩ, මනුලොව පින්කෙත ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේදී පැවැත්වෙනවා.