දින 19 ක් වයසැති බිළිදෙකු රුපියල් ලක්ෂයක මුදලට අළෙවි කිරීමට සුදානම් වූ පුද්ගලයින් 06 දෙනෙකු පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් ආණමඩුව - ආඩිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එම බිළිදව රැගෙන ඒම සදහා යොදාගත් බව කියන වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර බිළිදාගේ මව, ඇයගේ වැඩිමහල් සහෝදරයෙකු, ඔහුගේ බිරිද, බිළිදා මිලදී ගැනීමට සුදානම් වූ අඹු - සැමි යුවලක් සහ පොලිස් භාරයට ගෙන ඇති වෑන් රථයේ රියදුරා වනවා.
බිළිදා අලෙවි කිරීමට සුදානම් වූ මව සහ ඇයගේ සහෝදරයා ආණමඩුව - ආඩිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ. බිළිදා මිලදී ගැනීමට සුදානම් වූ අඹු - සැමි යුවල කල්පිටිය - මාම්පූරිය පදිංචිකරුවන් වනවා.
බිළිදා රැගෙන ඒමට ගිය වෑන් රථය පදවා ඇත්තේ පුත්තලම - පාලාවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
බිළිදා අළෙවි කිරීමේ අතරමැදි කටයුත්ත සිදු කර ඇත්තේ වෛද්‍යවරයෙකු විසින් බවටද වැඩිදුර විමර්ශණ වලදී අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ සැකකාරියන්ද, පොලිස් භාරයට ගෙන ඇති බිළිදා සහ වෑන් රථයද වැඩිදුර විමර්ශණ කටයුතු සදහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.




