බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිනිකොණ දිශාවෙන් හෙට දිනයේ අඩු පීඩන කලාපයක් වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව හෙට සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවිමක්ද අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවේ.
"හෙට දිනය වන විට වගේ දිවයිනේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිනිකොන දිශාවෙන් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ඒ පිළිබඳව අපි දිගින් දිගටම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධානයෙන් ඉඳලා අපි නිවේදන නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ වෙනවිට එය වර්ධනය වෙලා නැහැ. අපිට දකින්න ලැබෙනවා සුළු වර්ධනයක් තියෙනවා. මේ හේතුවෙන් අපි විශේෂයෙන් ගත්තොත් දිවයිනේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවල වැසි උදේ කාලයේත් අර දවසේ ඕනෑම වෙලාවක වැසි ඇති වෙන්න පුළුවන් හෙටින්, අනිද්දාගෙන් වගේ පස්සේ. අපි බලාපොරොත්තු වෙනවා 13, 14 වගේ දිනවල, හෙට සහ අනිද්දා, වැඩියෙන් වැසි ලැබේවී කියලා මොකද වැසි තත්ත්වයේ වර්ධනයකුත් මේ හේතුවෙන් අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ දිවයින වටා මුහුදේ කාලගුණය සැලකුවාම දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. දිවයින වටා මුහුදේ සුළං හමන්නේ ඊසාන දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර වගේ වේවි. මෙම අඩු පීඩන කලාපයේ වර්ධනය වූවොත් ඒත් එක්ක අපි මේ තත්ත්වයන්වල වෙනසක් ඇතිවුණොත් ඒ පිළිබඳ ඉදිරියේදී නිවේදන නිකුත් කරන්නත් බලාපොරොත්තු වෙනවා."
වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවුවද අඩු පීඩන කලාපයෙන් ශ්‍රී ලංකාවට සැලකිය යුතු බලපෑමක් නොමැති බවද ප්‍රකාශ කෙරුණා.
"ඇත්තටම මේ දිට්ටුවා වගේ සුළි කුණාටුවක් නම් වෙන්නේ නැහැ. මේක ඇත්තටම මේක අපට දිවයිනට කිට්ටුවෙන් තමයි මේ පද්ධතිය තියෙන්නේ. මෙම පද්ධතිය එතරම් වර්ධනය වීමක් පෙන්නන්නේ නැහැ. මොකද අපි ඉහළ වායුගෝලීය දත්ත සලකලා බලපුවාම, පහළ වායුගෝලයේ තමයි මේ කැලඹිලි ස්වභාවය පෙන්නන්නේ. ඒ නිසා මෙය එතරම් වර්ධනය වෙන එකක් නැහැ. නමුත් මේකේ බලපෑමෙන් වැස්ස තරමක් වැඩි වෙන්න පුළුවන්. අපි අර දිට්ටුවා වගේ එහෙම බය විය යුතු නැහැ. සාමාන්‍යයෙන් වැසි වැඩිවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. මුහුදේ ඒ කොටස්වලත් අපි සුළඟේ වේගය, මුහුදේ රළු භාවය වැඩි වෙනවා නම් අපි ඉදිරියේදී ඒ පිළිබඳ අවධානයෙන් ඉදලා ධීවර සහ නාවික ප්‍රජාව දැනුවත් කරනවා."
අද පස්වරු එකෙන් පසුවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා වැඩිදුරටත් පැවසුවේ.
"අපි අද දිනයේ පස්වරු 1.00න් පමණ පස්සේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වලත් ඒ වගේම අනුරාධපුරය, මන්නාරම වගේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 දක්වා වගේ තරමක තද වැසි අපි අද දිනයේ අපේක්ෂා කරනවා. ඒ වගේම මෙසේ ගිගුරුම් සහිත වැසිත් සමඟ තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. අකුණු අනතුරුවලින් සහ තද සුළංවලින් සිදුවන අනතුරු අවම කරගන්න කියලා අපි මහජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා."
පවතින වැසි තත්ත්වය හමුවේ ඩෙංගු සහ මී උණ රෝගීන් ඉහළ යාමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා.
"මේ දිනවල දිවා කාලයේදී පවතින උෂ්ණත්වය ඒ වගේම සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවෙනවා. අපි දන්නවා ලංකාවේ මේ වෙද්දී බොහෝ ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තා වන ප්‍රමාණය අඩු වුණත් යම් තරමක රෝගීන් වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මේ වැසි සමයත් එක්කම නැවත වරක් අපි අපේක්ෂා නොකරන විදිහට මදුරු ගනත්වය ඉහළ ගිහිල්ලා ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් එකවර වාර්තා වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මදුරුවන් බෝවන ස්ථාන සියල්ල ඉවත් කරලා මදුරු ගනත්වය අඩු කරගන්න කටයුතු කරන්න කියලත් අපි සියලු දෙනාගෙන්ම ඉල්ලනවා. නැත්නම් අපිට කලින් වගේම ඩෙංගු වසංගත තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් මේ වෙද්දී මී උණ රෝගීන් වාර්තා වෙනවා. විශේෂයෙන් වැව් ආශ්‍රිතව කටයුතු කරන ධීවර කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින්, ඒ වගේම සරුංගල් අරින්න යන දරුවෝ වගේ විශේෂයෙන්ම ගොවිපළ ආශ්‍රිතව, විශේෂයෙන්ම වෙල් ආශ්‍රිතව සරුංගල් අරින, ක්‍රීඩා කරන දරුවෝ වගේ පිරිස් අපිට මී උණ රෝගීන් විදිහට වාර්තා වෙනවා. ඒ සම්බන්ධව වැඩි අවධානය යොමු කරලා කටයුතු කරන්න. මේ වැසි සමයත් එක්ක නැවත වරක් අක... මේ වතුර රැඳුණු ස්ථාන බලලා කටයුතු කරද්දී මී උණ රෝගයත් වාර්තා වෙන්න පුළුවන්."




