මහා භාණ්ඩාගාරයේ ප්‍රශ්න ගත අමෙරිකානු ඩොලර් මිලියන 2යි දශම 5ක ගෙවීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිට මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණයට හේතුව අධික රුධිර වහනය බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.
ඔහුගේ සිරුරෙහි ඇති වූ කැපුම් තුවාල කිහිපයකින් මෙලෙස අධික රුධිර වහනය සිදුව ඇති බවයි වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අධිකරණ නියෝග මත පත්කෙරුණු අධිකරණ වෛද්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කරනු ලැබුවා.
හඳුනාගත් තුවාල තියුණු ආයුධයකින් සිදු වූ ඒවා බවත් පවතින සාක්ෂි අනුව මෙම තුවාල ඔහු විසින්ම සිදු කරගත් ඒවා බවට යෝජනා කළ හැකි බවත් වාර්තාවෙහි සඳහන්.
කෙසේ වෙතත් මරණය සියදිවි නසා ගැනීමක්දැයි වාර්තාවෙහි එක හෙළා ප්‍රකාශ කර නැහැ.
ඒ අනුව, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී පොලිසිය පැවසුවේ.
මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතා මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළා.
මියගොස් සිටියදී ඔහුගේ සිරුර සොයාගැණුනේ ඔහුගේ නිවස ආසන්නයේ තිබියදීයි.
කැපුම් තුවාල සිදු කර ගැනීම සඳහා යොදාගත් බව කියන එක් පිහියක්ද සිරුර ආසන්නයේ තිබී සොයා ගැනුණා.
මේ අතර මෙම මරණය සම්බන්ධයෙන් ඊයේ පැවති මැයි රැලි කිහිපයකදීම අදහස් පළ කෙරුණු අතර සමගි ජන බලවේගයේ මැයි දින රැලියේදී අදහස් දැක්වූ කථිකයන් කිහිප දෙනෙකුම කියා සිටියේ මෙම මරණය අපරාධයක් වීමට ඉඩ තිබෙන බවයි.
සත්‍ය වසන් කිරීමේ අපේක්ෂාවෙන් මරණය සිදු කරන්නට ඇතැයි ද එහිදී සැක පළ කෙරුණා.




