කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු චීවරධාරීන් විසිදෙදෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, අදාළ චීවරධාරීන් පිරිස පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගත් එම චීවරධාරීන් පිරිස සන්තකයේ තිබී රුපියල් කෝටි 110කට ආසන්න වටිනාකමකින් යුත් කූෂ් සහ හෂිස් මත්ද්‍රව්‍ය සොයා ගැණුනා.
ඒ, තයිලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීයි. ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ සෙල්ලම් බඩු හා රස කැවිලි සමග මත්ද්‍රව්‍ය සඟවා තිබුණා.
සෑම චීවරධාරියෙකුගේම ගමන් මළු තුළ කිලෝ ග්‍රෑම් (05) කට අධික මත්ද්‍රව්‍ය තිබී ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තකරු සඳහන් කළේ.
මෙම සැකකාර චීවරධාරින් අනුග්‍රහකයෙකු විසින් ලබා දුන් ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මත පසුගිය 22වනදා මෙරටින් තායිලන්තය බලා ගොස් ඇති අතර එහිදී ඔවුන් ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී සිටින ඡායාරූප සහ වීඩීයෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථන තුළ පටිගත වී තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.
මොවුන් දිවයින පුරා විවිධ ප්‍රදේශවල පදිංචිව සිටින තරුණ චීවරධාරින් පිරිසක් වන අතර ඔවුන් විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින පිරිසක් බවද සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතර චීවරධාරින් පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව ද මෙය වන බවටයි වාර්තා වන්නේ.
මේ අතර කූෂ් සහ හෂිස් මත්ද්‍රව්‍ය සමග කටුනායක දීඅත්අඩංගුවට ගත් චීවරධාරීන්ගේ විදේශ සංචාරය සංවිධානය කළ බව කියන ප්‍රධාන සැකකාර හිමිනමද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ ගම්පහ, මීහගවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්.




