මාර්ග සංවර්ධන අධිකාරිය, කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවූ බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් සිදුකර ඇති සාවද්‍ය ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් එවැනි කිසිදු ගෙවීමක් ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන ගිණුමෙන් හෝ වෙනත් අනු ගිණුමකින් කිසිම විටෙක අදාල ව්‍යාපෘති සඳහා සිදුකර නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
මන්ත්‍රීවරයා සිදුකර ඇති එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි මහාමාර්ග අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී පැවති එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පහත පරිදි කරුණු පැහැදිලි කළා.

" මාර්ග සංවර්ධන අධිකාරියේ සහ රජයේ කීර්ති නාමයට හානි කිරීම සඳහා චේතනාන්විතව සිදුකර ඇති මෙම ද්වේශසහගත සහ අසත්‍ය ප්‍රකාශය තරයේ හෙලා දකිනවා. සමාජය තුල අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සදහා දූෂණයක් සිදුවූවායැයි හැගෙන පරිදි මන්ත්‍රීවරයා සිදුකල ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක්. මේ තුළින් ආයතනයේ කීර්තිනාමයට විශාල හානියක් සිදුව තිබෙනවා. එමෙන්ම ගිණුම්කරණ ක්‍රියාවලිය සහ රටේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ අවිශ්වාසයක් ඇති කිරීමට තැත්කිරීම කණගාටුදායක තත්ත්වයක්.

ප්‍රධාන ගිණුමෙන් හෝ අනු ගිණුමකින්වත් කිසිම මුදලක් දෙවරක් ගෙවීම් කර නැහැ. ස්ථිර වශයෙන්ම කියනවා කිසිම ගිණුමකට දෙවරක් මුදල් ගියේ නැහැ කියලා. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියන පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිසිම ලිපියක් බැංකුවට යවා නැහැ. බැංකුව විසින් අධිකාරියට කිසිම ලිපියක් යොමුකරලත් නැහැ. අධිකාරිය සහ කොන්ත්‍රාත්කරුවන් අතර කිසිම ගැටලුවක් නැහැ. කොන්ත්‍රාත්කරුවන් සහ බැංකුව අතර ගැටලුවක් පවතීනම් ඒකෙ වරද මාර්ග සංවර්ධන අධිකාරියේ නොවෙයි.

ඉතා පැහැදිලිව කියනවා මාර්ග සංවර්ධන අධිකාරිය අදාල කොන්ත්‍රාත්කරුවන්ට.දෙවරක් මුදල් ගෙවා නැති බව. බැංකුවේ මුදල් තැන්පත් කර ඇත්තේ එක්වරක් පමණයි. ඒ බව ප්‍රධාන ගණකාධිකාරිවරයා තහවුරු කලා. මෙම ගෙවීම් සිදුකර තිබෙන්නේ මඩකලපුව ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙකුට. මෙහි සත්‍යාසත්‍යතාවය මාර්ග සංවර්ධන අධිකාරියේ අදාල පළාත්භාර අධ්‍යක්ෂවරයා තහවුරු කර තිබෙනවා.’

එහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ආයතනික මූල්‍ය) තුෂාර විද්‍යාරත්න මහතා ද අදහස් දැක්වූවා.

" මහා භාණ්ඩාගාරයෙන් අමාත්‍යංශය හරහා මාර්ග සංවර්ධන අධිකාරියට ලැබෙන මුදල් තාක්ෂණික ක්‍රමවේදය අනුව දෙපාරක් ගෙවන්නේ නැහැ. ප්‍රධාන කාර්යාලයෙන් මුදල් සෘජුව කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්නේත් නැහැ. ප්‍රාදේශීය කාර්යාල හරහා නිවැරදි ක්‍රමවේදයට අනුව ගෙවීම් සිදුකරනවා. එම කාර්යාලවල අධ්‍යක්ෂවරු, ඉංජිනේරුවරු සහ ගණකාධිකාරිවරු හරහා ගෙවීම් සිදුවෙනවා. ප්‍රාදේශීයව සිදුකරන ගෙවීම් ප්‍රධාන කාර්යාලයේ ගිණුම් හරහා සිදුවෙන්නේ නැහැ. මෙම ගෙවීම් කටයුතු නැගෙනහිර පළාතේ ගණකාධිකාරිවරයා හරහා සිදුවී තිබෙනවා. එමනිසා ද්විත්ව ගෙවීමක් සිදුවීම ප්‍රායෝගිකව හෝ තාක්ණිකව සිදුවන්නේ නැහැ. එබැවින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක්.’

මෙම මාධ්‍ය හමුවට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු මුදල් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.