මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර අද වීථි සංචාරය කෙරෙනවා.

එය නැරඹීමටද දෙස් විදෙස් ජනතාව මහනුවරට පැමිණ සිටින බවයි නෙත් නිවුස් නියෝජිත කමල් සුරවීර පැවසුවේ.

''මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ අවසන් වීමෙන් අනතුරුව, සිව්මහා දේවාල ගැටඹේ ගංගා තොටට පැමිණ දියකැපීමේ චාරිත්‍රය ආගමික වතාවත්වලට අනුව සිදු කළා. ඉන්පසු එම පෙරහැර නැවතත් මහනුවර ගණදෙවි කෝවිල හෙවත් පුල්ලෙයාර් කෝවිලට පැමිණ තිබෙනවා. ඉන් අනතුරුව අද පස්වරු 12 පසුවී මිනිත්තු 44 ට උතුරු දිශාභිමුඛව ගණදෙවි කෝවිලෙන් පිටත්ව, කටුකැලේ වීදිය, දලන්ගොඩ වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, කන්දේ වීදිය ඔස්සේ ඩී. එස්. සේනානායක වීදියෙන් මංසන්දියට පැමිණ එතැනින් පැමිණෙනවා ගෙඩිගේ රජමහා විහාරයට.ගෙඩිගේ රජමහා විහාරයෙන් පස්වරු 2 පසුවී මිනිත්තු 17 ට උතුරු දිශාභිමුඛව නැවතත් ආරම්භ වෙනවා දවල් පෙරහැර. දවල් පෙරහැර ආරම්භ වෙලා ගෙඩිගේ රජමහා විහාරයෙන් පිටත්වෙලා දළදා මාළිගාවට තමයි පැමිණෙන්නේ. ඩී. එස්. සේනානායක වීදිය, බන්සල පාර, දේව වීදියෙන්, රජ වීදිය ඔස්සේ පැමිණ දළදා මාළිගාවේ තෙවරක් ප්‍රදක්ෂිණා කිරීම සිදුවෙනවා මේ පෙරහැර. දළදා මාළිගා පරිශ්‍රයේ තෙවරක් ප්‍රදක්ෂිණා කොට ඉන් අනතුරුව තමයි පස්වරු 4 පසුවී මිනිත්තු 2 ට උතුරු දිශාභිමුඛව ගෙවැදීම සිදු වන්නේ.ඉන් අනතුරුව තමයි දියවඩන නිලමේතුමා සමඟ අනෙකුත් සිව්මහා දේවාල බස්නායක නිලමේවරුන් ඇතුළු පිටිසර දේවාල නිලමේවරු සියලු දෙනා නැවතත් පෙරහැරකින් පැමිණෙන්නේ ජනාධිපති මන්දිරයටයි. ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපති මන්දිරයේදී පෙරහැර ඉතාමත් සාර්ථකව සිදු කළ බවට පෙරහැර සන්දේශය භාර දෙනවා ජනාධිපතිතුමන් හට. ඒ භාර දීමෙන් අනතුරුව පෙරහැරේදී විශිෂ්ට ආකාරයෙන් නැටුම්, ගැයුම් තමන්ගේ කලා හැකියාවන් ප්‍රදර්ශනය කළ කලාකරුවන්ට ඔවුන්ගේ සම්මාන දානය කිරීමත් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිද්ධ වෙනවා. ඉන් අනතුරුව තමයි මේ මහා පෙරහැර මංගල්‍යයේ අවසන් වීම සිදුවන්නේ. මේ වන විට දවල් පෙරහැර නැරඹීම සඳහාත් යම්කිසි ආකාරයකින් ජනතාව පෙරහැර ගමන් කරන වීදිවලට එක්ව සිටින ආකාරයකුත් දක්නට ලැබෙනවා.''

මේ අතර මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය කාලය තුළ කිලෝ ලක්‍ෂ 3 කට ආසන්න කැළි කසල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව මහනුවර මහ නගර සභාව පවසනවා. එම කැළි කසල ඉවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක බවයි නෙත් නිවුස් කළ විමසීමකදී එම මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය පැවසුවේ.

"පහුගිය දින 10 තුළ වගේම අපි ඊයේ රාත්‍රියෙත් පිරිසිදු කිරීමක් කරන්න සිදු කරා. අද වෙනසකට තියෙන්නේ අද රාත්‍රි නෙමෙයි අද දහවල් පෙරහැරයි පැවැත්වෙන්නේ. ඒ අපි බලාපොරොත්තු වෙනවා ඒකටත් වෙනදා වගේම විශාල ජනකායක් සහභාගී වෙයි කියලා. මොකද මහා ජනතාව තුළ විශේෂ භක්තියක් සහ විශේෂ සැලකිල්ලක් තියෙනවා මේ දහවල් පෙරහැර නැරඹීම සඳහාත්. ඉතින් ඒක තමන්ගේ පෞද්ගලික ජීවිතයට ඉතා වැදගත් කියලා බෞද්ධයින් සලකනවා. ඉතින් ඒ නිසා ලොකු පිරිසක් අද දහවලේ එකතු වෙයි කියන අපේ විශ්වාසය තියෙනවා. කොහොම වුණත් අපේ ක්‍රියාන්විතයේ ඒ විදිහටම පිරිසිදු කිරීම සඳහා වන ක්‍රියාන්විතයේ ඒ වගේම ජල පහසුකම්, වැසිකිළි පහසුකම් ඇතුළු ඒ සියල්ල කළ යුතු දේවල් අද දිනය පුරාත් අපි සිද්ධ කරනවා. අද විශේෂත්වයක් තියෙන්නේ.. 25 වෙනිදා වෙනකොට අපිට දළ වශයෙන් එකතු වෙලා තිබුණා පොලිතීන්, ප්ලාස්ටික්, ඉඳුල්, අපද්‍රව්‍ය, ඒ වගේම අලි වසුරු සහ ඔවුන්ගේ ආහාර සඳහා රැගෙන එන ගස්වල කොළ අතු, කිටුල් අතු වගේ කිටුල් කොට්... කිලෝ 1,85,690 ක්. එතකොට 26 සහ 27 දෙකේ ඊට සමාන ප්‍රමාණයක් ජනනය වෙනවා. මොකද ජනතාවත් වැඩියි සහ ඊළඟට අලි ප්‍රමාණයක් වැඩි වුණා. කොහොමටත් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් කිලෝ අපිට එකතු වෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා.''