සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි.

ඊයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 114ක් රැස් කරගෙන සිටියා.

ඒ පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු නවයක් දැවී රැස්කළ ලකුණු 434 ට පිළිතුරු ලෙසයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතක් අතැතිව පාකිස්ථාන පළමු ඉනිමට වඩා තවත් ලකුණු 320ක් පිටුපසින් සිටිනවා.

මේ අතර මෙම තරගයේ පාකිස්ථාන පළමු ඉනිමේ කඩුලු තුනක් දවා ගත් අසිත ප්‍රනාන්දු ටෙස්ට් කඩුලු 100 කඩඉම පසුකර යෑමට සමත් වුණා.

ඔහු වාර්තා අතරට එක් වුණේ අඩුම තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුළු සියයක් දවා ගත් ශ්‍රී ලාංකික පන්දු යවන්නා ලෙසටයි.

ටෙස්ට් තරග 29කට සහභාගී වී ඇති අසිත ප්‍රනාන්දු ටෙස්ට් ඉනිම 48 කදී මෙම දස්කම දැක්වීමට සමත්ව තිබෙනවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ලසිත් මාලිංගයි.

ඔහු ටෙස්ට් තරග 30 කදී එම දස්කම දක්වා තිබුණා.